Sunday, December 31, 2017

වෙනසක ඇරඹුම- 2 කොටස



පලමු කොටස මගහැරුනු අය මේකෙන් බලන්න.

දැන් ඉතිං කැම්පස් ගියපු මුල්ම දවස.. කැම්පස් කිව්වට හොස්ටල් එකට. දන්නවනෙ ඉතිං මුල්ම දවස් වල තියෙන දැවෙන ප්‍රශ්නය "නවක වදය" එහෙමත් නැත්තන් "රැග් එක". කොල්ලො එකා දෙන්න දැන් හොස්ටල් එකට ආව. රට වටෙන්ම ආපු උන්නෙ. ඉතිං විස්තර කතා කරනව. සමහරුන්ව කලින් අදුවරනව අර නායකත්ව පුහුණුව නිසා. වැඩි පුරම කතා කරේ රැග් එක ගැන තමයි. කෑම්ප් එකේදි එස්.බී. මාමත් කිව්වනෙ නවක වදය ලබා දීම නිසා සබරගමුවෙ පස් දෙනෙකුගෙ ශිෂ්‍යභාවය අහෝසි කරා කියල.. ඔය අතරෙ හොස්ටල් එකට ආව සුපිරි ඩයල් එකක්. මෑන් වට දෙක තුනක් හොස්ටල් එක වටේ කැරකුනා. හොස්ටල් එක තියෙන්නෙ පොඩි බෑවුමක. දැන් අපි ඉස්සරහට එන දවස් වල සින්නො මොනව කරාවිද කියල බර සාකච්චාවක. ඔය අතරෙදි අර ඩයල් එක ඇවිල්ල ලගින් වාඩි වෙලා ඇහුව "මචන් හොස්ටල් එක නාය යාවිද දන්නෑ නෙහ්?".. හම්මෝ ඉතිං සෑහෙන්න වෙලාවක් කොල්ලො බඩ අල්ලන් හිනා වුනා. අපි මේ සින්නොයි රැගයි ගැන කතා කර කර ඉන්නව මූ ආතල් දෙනව. කියන්න සන්තෝසයි සහෝදරවරුනි එහෙම පටන්ගත්තු ආතල් දීම ඌ තාමත් දෙනව.


ඔන්න ඉතිං අපි පලවෙනි දවසට ලෙක්චර් යන්නත් පටන් ගත්ත. ලොක්ක තමයි මූලික වෙලා නායකත්වය අරගෙන මුලින්ම ගේම අරගෙන ගියෙ, ලොක්ක ගැන ඉස්සරහට කියන්නම්. ඊට කලින් මතක විදිහට කලින් දවසෙ රෑ මාර්ෂල් සර්(මුල් දවස් ටිකේ හැමෝම සර් කිව්වට පස්සෙ ඌව බලු ගනන් ගන්නෑ) ඇවිත් විස්තර බලල ගියා. එදා ලෙක්චර් ඉවර වෙලා අපි එන්න හදනකොට තමයි අයියල වගයක් අපිට මුලින්ම ආමන්ත්‍රණය කරේ. අපේ සෙට් එකේ හිටිය ටිකක් කොට ඩයල් එකක්(මට වඩා චූට්ටක් උසයි). පොරට තමයි මුලින්ම ඇමතුවෙ. අයියලට එතකොට එක්සෑම්.. දෙන්නෙක් යන ගමන් අපේ එකාව දැකල " ආ උඹ බෙකම් ගහල නේද? වරෙන්කො උකෝල ගන්න". සින්නො දෙන්න කියගෙන ගියා මිසක් නැවතුනේවත් නෑ. අපිට ඉතිං ඒ ඇති. අරූව බයිට් කරනව හෝ ගාල. හොස්ටල් යන්න කලින් උගෙ රැග් සීසන් එකම මවල පෙන්නුව අපේ උන් කතා වලින්.

ඔහොම ටික දවසක් යනකොට සහෝදරියො ටිකත් ටික ටික ෆිට් උනා. ඒත් ලෙක්චර් යනව එනව විතරයි මෙලෝ රහක් නෑ. අඩුගානෙ සින්නෙක්වත් පේන්න නෑ, එපා වෙලා හිටියෙ. ඔන්න දවසක් හවස නිකමට වගේ යෝජනාවක් ආව සෙට් වෙමුද කියල. සින්නොන්ට මාට්ටු වෙයිද? අරකද මේකද දාහක් ප්‍රශ්න ආවත් අභියෝග වලට මූහුනදෙන විදිය අපි එදා ඉදල ඉගෙන ගෙන තිබුන නිසා නමෝවිත්තියෙන් බෝතල් ටිකත් රෑ වෙන්න කලින් හොස්ටල් එකට ආව. රෑ නවයට පටන් ගත්තු බජව්ව පාන්දර තුන විතර වෙනකන් ගිහින්.. "ජයසූරිය" හොස්ටල් එකෙන් යනකොට බෝතල් පෝරබෑග් පිටින් අයින් කරන්න උනා කියල හිටපු සබ්වෝඩන් කිව්වට බොරු වෙන්න ඇති මයෙ හිතේ. ඔහොම බීල විදගත්තු අවස්තාවකුත් තියෙනව ඒක ඉස්සරහට කියන්නම්කො.


ඔන්න දවසක් ලෙක්ච‍ර් ඉවරවෙලා කැන්ටිමට කට්ටියත් එක්ක කන්න යනව. අතරින් පතර අපි දැක්ක කට්ටිය අපේ දිහා බලන් ඉන්නව. කෑමක් සෙට් වෙනව කියල ඉවෙන් වගේ තේරුනා.කෑමත් අරන් කන්න වාඩි උනා. මොන කෑමක්ද... සෙට් එකක් බැස්ස. ලග තියෙන පුටු වලින් වාඩි වුනා. අපි ඉතිං පූස් පැටවු වගේ. "උබේ නම මොකක්ද? ගම කොහෙද? එහා පැත්තෙ එකා කොහෙද?" ප්‍රශ්න කෝටියයි. මගෙන් තාම මුකුත් ඇහුවෙ නෑ. එකම තුරුම්පුව කෑම. මම කනව හැටේ වෙගෙන් කට හිස් වෙන්න දෙන්නෙම නෑ. මැණික් ගල් දෙක තුනකුත් හැපුන. ඒත් වැඩේ අතෑරියෙ නෑ. පස්සෙ ලස්සන අක්ක කෙනෙක් ලගින් වාඩි උනා. මන් හිතුව දැන්වත් නිවීහැනිහිල්ලෙ ඉන්න පුලුවන් වෙයි කියල. ඒක ඔක්කොටම හපන්. "හෙමින් කාපන් හිර වෙයි.. වව් වව් වව්.. බ්ල බ්ලා බ්ලා". බණකුත් කිව්ව ම්ෘදු ස්වරයෙන්. කෙල ගිලින්නත් අමතක උනා. කරිජ්ජ පාගපු අපි කෙල්ලො කුණුහර්ප කියනව අහල තිබුනට කුණුහර්ප නොවන විදිහට බනින කොට (ඒකත් පොඩි තෙලක් එක්ක) අමුතු මෙව්ව එකක් තිබුන.ටිකක් අමතල, හැමෝගෙම නම් ගම් මතක තියාගන්න ඕනෙ කියල ආදරෙන් කියල ජේෂ්ඨයො යන්න ගියා. අනාගතේ ගැන සුන්දර සිහින මවමින් අපිත් නේවාසිකාගාර බලා පිටත් වුනා.

දවසෙම මාත්ෘකාව අර අක්ක..
ආයෙ ලෙක්චර් ගියපු හැටි ඊලග කොටසින්.. මතු සම්බන්දයි.











Thursday, December 28, 2017

වෙනසක ඇරඹුම- 01 කොටස

                                                          වෙනසක ඇරඹුම.

ඊයෙ උසස් පෙල ප්‍රතිඵල නිකුත් වීමත් එක්ක මගේ චූටි මල්ලි උසස් විදිහට සමත් වීමත් ඊට පස්සෙ ඌත් එක්ක පරණ දේවල් මතක් කරමින් කෙරුනු පුංචි කතා බහත් නිසා මේ ටික ලියන්න හිතුන.



ඒ මීට අවුරුදු 6කට පමණ පෙර උ.පෙ. ප්‍රතිඵල නිකුත් වූ දිනය. එනව කිව්ව නිසා බලන් හිටියට ඒ මගුල එන්නෙත් නෑ.. "අම්මෙ මන් නිදාගන්නව" කියල මන් ගියා ඇදට. ටික වෙලාවකින් අඩ නින්දෙ ඉන්නකොට පොඩි එකා(චූටි මල්ලි) ඇවිත් මාව ඇහැරුව ‍රිසල්ට්ස් ඇවිල්ල කියල. කම්මැලිකමේ චුට්ටක් බයෙනුත් එක්ක මාත් ගිහින් කොම්පියුටරේ ඔන් කරල රිසල්ට්ස් බලන්න ගත්ත. මෙන්න යකෝ විභාගෙ පාස්. හිතුව වගේම හොද ප්‍රතිඵලයකුත් තියෙනව.(දැන් චුට්ටගෙ ප්‍රතිඵල තර්ම් නම් නෑ.) චූටි මල්ලි ගත්තු කටටම කිව්වෙ "අයියෙ තාත්තගෙ මූණ බලන්න තමයි ඕනෙ" කියල. තාත්ත හැමදාම පාඩම් කරන්න කියල කෑ ගහනවනෙ. කොහෙද ඉතිං ඒක ඇහුනම් පාඩම් කර කර හිටියත් මන් නැගිටල යනව(චුට්ට මට හපන්. ඌට පොඩ්ඩ ඇත්තන් මල පනිනවනෙ). කොහොම හරි ඒ වෙලාවෙ තාත්ත හිටියෙ නෑ ගෙදර.. ඒ නිසා මටයි මල්ලිටයි ඒ ආතල් එක මිස් උනා. ඒත් අම්ම හිටිය සාලෙ. ඉතිං මන් හෙන ආඩම්බ‍රෙන් කිව්ව "අම්මෙ ‍රිසල්ට්ස් බැලුව. මේ පාර ගොඩ" කියල රිලස්ට්ස් එකත් කිව්ව. මන් හිතුවෙ අම්ම මාව බදාගෙන ඉඹල රටේ නැති කතන්දර ටිකක් කියල සුභ පතාවි කියල. කියන්න කණගාටුයි සහෝදරවරුනි අම්මා කිව්වෙ " ලොකූ............................ විභාග අංකෙ හරිද කියල ආයෙ චෙක් කරන්න කියල..". අනේ ඉතිං මට නේද බඩ කපාගන්න හිතුන.

කොහොමින් කොහොම හරි ප්‍රතිඵල හොද උනාට Z ස්කෝර් එකේ අවුලක් තිබුනනෙ. ඒ මගුලට පිං සිද්ධ වෙන්න කැම්පස් යන්න කලින්ම අපි උද්ගෝශන වලටයි නඩු වලටයි ගියා. කොහොම හරි නඩුවත් දිනුව. සබරගමුවට තේරුනා කියල දැනගත්තම ඉතිං මල් හතයි. අපිට ඉතිං තිබුනෙ ටියුෂන් සර්ල මවපු කැම්පස් ආතල් එක ගන්න මිසක් වෙන එකක් නෙමෙයිනෙ. ඇයි ඉතිං කිව්වෙ යන හැමෝම ඩිග්‍රි එක ගන්නව කියලනෙ.

කැම්පස් යන්න කලින් ආවනෙ නායකත්ව පුහුණුව කියල එකක්. ඒක හැදුවෙ නවක වදය නවත්තන්නලු. සීනියර්ස්ලට තියෙන බය නැති කරන්නලු. හමුදාව ලෙෆ් රයිට් කිව්වම කකුල් උස්සාව වගේ කමාන්ඩ් වලට අපිවත් හුරු කරන්නලු. පවු අහින්සක උත්සහයක්. එස්.බී මාමි මොක උනත් ඒකට හොද බොටම් දෙකක් දුන්න. වැදගත් කියල තිබුනෙ එච්චරයි මතක විදිහට. හැබැයි ලන්කාවෙම කැම්පස් වල උන් ටිකක් අදුරගත්ත. ඒ ෆිට් එක අදටත් තියෙනව. පුංචි සිද්දියක් තියෙනව අමතක නොවෙන. ඒකත් නොලිව්වොත් මදිපාඩුවක් වෙනව. කිලිනොච්චියෙ දෙමළ සහෝදරයෙක් අපිත් එක්ක හොදට ෆිට් උනා. හොදට විනෝදෙන් හිටපු කොල්ලෙක්. දවසක් තිබුන නීතිය ගැන ලෙක්චර් එකක්. ඕක ඉවර උනහම ප්‍රශ්න අහන්න අවස්තාවක් දුන්න. අර සහෝදරය ඇහුව "නීතිය සාදාරණද?" කියල. දේශනය දීපු කපිතාන් සරල විදිහට කිව්ව "ඔව්" කියල. ඔය කාලෙ තමයි අග විනිසුරුතුමිය ශ්‍රියානි බණ්ඩාරනයකව මහින්ද රාජපක්ෂ අයින් කරේ. ඉතිං අපේ එකා ඇහුව "නීතියේ ඉහලින්ම ඉන්නෙ අග විනිසුරු. දේශපාලන පක්ෂයක නායකයෙක්ට අග විනිසුරුතුමියව ඉවත් කරන්න පුලුවන් නම් නීතිය කොහොමද සාදාරණ වෙන්නෙ කියල?" ඇඩ්‍ර්ස් නෑ කට්ටි‍යට. කැප්ටන් උඩ බිම බලනව. පස්සෙ ලොක්ක හිටපු මේජර් ඇවිත් මයික් එක අරන් කිව්ව "අපිට උත්තර දෙන්න පුලුවන් සීමාවක් තියෙනව. එතනින් එහාට ප්‍රශ්න අහන්න එපා" කියල ටිකක් සද්දෙට කියල යන්න ගියා. එස්.බී මාමා ඇවිල්ල බොරු ටිකකුත් කියල ගියා. අපිට ප්‍රශ්න අහන්න මයික් එක දුන්නෙ නෑ. පොඩි හූවක් එහෙම තියල ආව. කාල බීල ආතල් එකක් නම් ගත්ත.

කැම්පස් එකටත් ගියා කියමුකො. ඒ දවස් වල හෙන හුලං. මුලින්ම ගියේ "ජයසූරිය" හොස්ටල් එකට....

මෙතන ඉදන් තම‍යි හොද හොද කතා තියෙන්නෙ. දැනට මතු සම්බන්දයි.



Monday, November 27, 2017

2015 janawari saha 2018 janawari


                                          2015  ජනවාරි සහ 2018 ජනවාරි

පසුගිය 2015 ජනවාරි මස 8වන දින ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරදවා යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තේරී පත්වුණි.  එදා යුද ජයග්‍රණය තම බූදලයක් කරගන්නට  උත්සාහ දැරූ මහින්ද රාජපක්ෂ පරදවා මෛත්‍රී ජනාදිපති කරවූයේ මහින්දගේ මර්දනකාරී ඒකාදිපති  සහ දූෂණ වංචා සහිත අර්සාථක පාලනය අවසන් කල යුතු නිසාත් මෛත්‍රී සිය ප්‍රචාරණ කටයුතු වලට යොදාගත් යහපාලනය යන වචනය නිසාත්ය. නොඑසේනම් මෛත්‍රී ජනාදිපති කරවීමේ අවශ්‍යතාවයක් නොවීය. වසර 3ක් අවසානයේ නැවත වරක් ජනතා පරමාදිපත්‍ය උරගා බැලීමේ අවස්තාවක් උදා වීමට නියමිතය. ඉතිං අපි පසු විපරමක් කරමු. පසු ගිය වසර 3 තුල යහපාලනය සාර්ථකද?

එදා දීවර ඇන්තනී , කටුනායක රොශේන් චානක, අන්තරේ ජනක සිසිත, රතුපස්වල ජලය ඉල්ලු ජනතාව ඝාතනය කල මහින්ද පැරදවීමට මෛත්‍රී යොදාගත්තේද එම මර්දනයයි. "ආයෙ ආයෙ නොම ඉවසන්" යනුවෙන් පුවත් පත් වල ප්‍රචාරය කලේ එම මර්දන චායරූපයි. නමුත් යහපාලන ආණ්ඩුවද සයිටම් අරගලයේදී මෙන්ම තෙල් සේවකයන්ගේ අරගයේදීත් තවත් අවස්තා ගණනකදීම පැරණි මර්දන උපකරණ පෙරටත් වඩා සංවිදානාත්මක ලෙස යොදාගැනුණි. රාජ්‍ය මාද්‍ය නිර්ලජ්ජිත ලෙස ආණ්ඩුවේ හොරණෑව ලෙස භාවිතා කීරීමත් යහපාලන ආණ්ඩුවද පෙර ලෙසම සිදු කරමින් පවතී.විශේෂයෙන්ම මහබැංකු වංචාව හෙලිවීමත් සමග තවදුරටත් දූෂන වංචා අතින්ද මහින්දගේ දූෂිත ආණ්ඩුව මේන්ම යහපාලන ආණ්ඩුවද වංචාකාරී ආණ්ඩුවක් බව ඔප්පු වී හමාරය.

එසේනම් තීරණාත්ම කඩයිමක් පසු කල 2015 ජනවාරිය මෙන්ම 2018 ජනවාරියද ජනතාව තුල බරපතකල වගකීමක් තබා ඇත. පුංචි චන්දය උවත් වටිනාකම වැඩි වන්නේ මේ නිසාය. ඔලු ගෙඩි මාරුවක් වෙනුවට ක්‍රමවේදයේ පූර්ණ වෙනසක් ජනතාව බලාපොරොත්තු වේ. මෛත්‍රී චන්දය කල් දැමීමට උත්සහා දරන්නේද මේ වෙනස ඔවුන්ට සහ දනේෂ්වර පාලකයන්ට කිසිසේත් වාසි සහගත නොවන නිසාය. නමුත් සටමන් කරන වමේ බලවේග හමුවේ එය තව දුරටත් නිශ්ඵල ක්‍රියාවකි. දූෂණ වංචාවලින් තොර සාදාරණ සමාජයක් වෙනුවෙන් වෙනස් වන්නට වෙනස් කරන්නට අපේ වටිනා චන්දය පාවිච්චි කරමු.

Sunday, November 19, 2017

Awasan thurumpuwa jathiwadayad?

                                                අවසන් තුරුම්පුව ජාතිවාදයද?

පසුගිය දිනෙක ගිංතොට ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන් තත්ත්වයත් කාලයක සිට මතුවෙමින් යටයමින් නමුත් විසදුමක් නොවූ ජාතික ගැටලුවත් නිසා මෙම සටහන ලියන්නට සිත වද දුනි. තිස් වසරක යුද්දයේ අදුරු මතකය සති දෙකකින් සියල්ල අමතක වන අපිට මතක නැතුවා සේය. එසේ නොවේ නම් අදේශපාලනික මෝඩ කමය. රුසියානු ජනපති මුස්ලිම්වරු සියල්ල වනසා දමන බවට පාරම් බෑවිට එයට හුරේ දමන අපේ ජාතික බුකී "වීරයන්ගෙන්" මීට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැක. අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්ත සංවිධාන වලට ආයුධ සපයන්නේද රුසියාව වැනි රටවල් වලින් බව ඔවුන් නොදනී.

ලංකාව දෙසට හැරෙමු. 56 බණ්ඩාරනායකගේ සිංහල භාෂා පනතත්, බණ්ඩාරණායක චෙල්වනාගම් ගිවිසුම් තුලින් බලය පවත්වා ගැනීමට දැරූ උත්සාහයේ සහ තවත් එවැනි ජාතිවාදී ක්‍රියා නිසා තිස් වසරක යුද්ධයක් රටට හිමි විය(සිංහල ජාතිවාදය උපරිමයට භාවිත කරමින් බණ්ඩාරනායක බලයට පත්වන අතර දෙමළ ජාතිවාදය භාවිත කරමින් චෙල්වනායගම් බලයට පත් වුවද බලය පවත්වාගෙන යාමට නැවත ඔවුන් ගිවිසුම් ගත විය). එම උනුසුම මැකී යන්නත් මත්තෙන් නැවත වරක් රට යුද්දයකට තල්ලු කිරීමට වලිකන පිරිසක් සිටින බවට රටක් ලෙස අප තීරුම් ගත යුතුය. යුද්ධය ධනේෂ්වර පාලකයන්ට නිතරම හිගන්නාට තුවාලය වැනිය.ඉතිහාසය පුරාවට ඔවුන් එය ආයුදයක් කර ගැනුනි. රණවිරුවණ් ජීවිත පරිත්‍යාග කර රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීම ජඩ දේශපාලුවන් විසින් තවමත් විකුණාගෙන කයි. ගින්තොට සිද්දිය පවා හුදෙක් දෙපිරිසක් අතර ගැටුමක් බවත් එය ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය කරනු ලැබ ඇත්තේ ජඩ දේශපාලුවන් සහ අන්තවාදී සංවිධාන විසින් බව තොරතුරු හෙලිවෙවින් පවතී. අප කාතුලත් දුවන්නේ රතු පැහැති මනුස්ස ලේය. එය ජාතිකත්ව අනුව බෙදා වෙන්කිරීමට තැත්කිරීම කිසිසේත්ම මිනිස් කමට උචිත ක්‍රියාවක් නොවේ.

එමෙන්ම මෙම ගැටුම පිලිබද අසත්‍ය තොරතුරු සහ ජනතාව කුපිත කරවන සුලු පුවත් රැසක් සමාජ ජාලා වෙබ් අඩවි වල ප්‍රචාරය විය. මෙවැනි දේ පාලනයට රජයකට පැහැදිලි වගකීමක් ඇත. ලියුම් කරු විස්වාස කරන පරිදි මෙවැනි අවස්තාවකදී, තොරතුරු හරි හෝ වැරදි හෝ ප්‍රචාරය වීම වැලැක්වීම ඉතා අපහසුය. තොරතුරු දැන ගැනීමේ අයිතියද ජනතාවට ලබාදී ඇති අවදියක රජය මැදිහත් වී හැකි ඉක්මනින් සත්‍ය තොරතුරු නිසි අයුරින් සමාජ ගතකරන්නේ නම් අසත්‍ය තොරතුරු වලින් ජනතාව මුලා වීම වලක්වාගත හැක. නමුත් ධනේෂ්වර පාලකයන්ට එවැනි අවශ්‍යතාවයක් ඇත්ද යන්න සැක සහිතය.
ප්‍රශ්න කල යුතු සහ සිතා බැලිය යුතු තවත් කරුණක් තිබේ. සිංහලේ, බොදු බලේ වැනි අන්තවාදී සිංහල සංවිධාන වලට දකුණේ වාමාංශික සංවිධාන සහ ප්‍රගතිශීලී ජනතා බලවේග තුලින් දැවැන්ත විරෝධයක් එල්ල වූවද මුස්ලිම් අන්තවාදී සංවිදාන වලට සැලකිය යුතු විරෝධයක් සංවිදානාතමක ලෙස එල්ල වෙනවා අඩුය. මුස්ලිම් අන්තවාදයට පිලිතුර සිංහල අන්තවාදය නොවන බව තරයේ විස්වාස කරන අතර නීතිය රටේ සැමට සාධාරණ විය යුතු බවද තරයේ විස්වාස කරමි(නීතිය පාලකයාගේ කැමැත්ත බව නොදැන නොවේ). මාර්ග නීති කාටත් පොදුය. ළමා විවාහ තහනම් විය යුතුය. මේ කිහිපයක් පමණි. මේවාට ප්‍රතිවිරෝධය ඇති විය යුත්තේ එම ජන කොටස් වලින්මය. ඒ සදහා ඔවුන් ලෝකයට විවර කිරීම සියලුදෙනාගේ වගකීමයි. එන්න අපි සියල්ලන්ටම මනුශ්‍යත්වයේ දෑත් දිගු කරමු. ධනේෂ්වර උගුල් වලට හසු නොවෙමු. ජනතාවට නොව ධනේෂ්වර ජාතිවාදී පාලකයන්ට එරෙහි වෙමු. ජාතිවාදයට තිත තබමු. ජය!!!

Saturday, November 11, 2017

Kubiyo wamata pahara gasuwada? wama keniththuwad?

                                       කූඹියෝ වමට පහර ගැස්සුවාද නැතිනම් වම කෙනිත්තුවාද?

ලාංකීය ටෙලිවිෂන් කලාවේ හැරවුම් ලක්ෂයක් බවටට කූඹියෝ පත්ව ඇති බව   අවිවාදිත කරුණකි.  එහි ඇති දේශ දේශපාලනය සම්පූර්ණයෙන්ම අමතක කලත් තිර රචනය සහ රඟපෑමේ අති දක්ෂ බවත් නිසා දේශපාලනය හරි හැටි තේරුම් නොගත් අයෙකුට වුවත් කතාව රස විඳිය හැකි. නමුත් මේ ලිපියෙන් උත්සාහ කරන්නේ එහි දේශපාලනය යම් තරමකට මතු කිරීමටයි.



  කතාවේ ආරම්භයට යමු. පළමුව ජෙහාන්ට හිරුනිව බස් රථයේ හමු වී පසුව ප්‍රියන්‍ත සමග මුලින්ම බලසයෙන් බැස නවාතැන කරා ඇවිදයන මොහොතේ දෙබස් දෙස අවදානය යොමුකලහොත් එහිදී ප්‍රියන්ත නිතරම "මහත්තයා" යනුවෙන් ආමන්ත්‍රණය කිරීම නිසා "මෙහෙ මහත්තුරු නෑ. අයියෙ කියපන්" යනුවෙන් පැවසීම තුල සේවකයාට වඩා ඔහුව සහෝදරයෙකු ලෙස දැනෙන්නට සැලැස්වීමම සාමන්‍ය ක්‍රමයට වඩා වෙනස් දේශපාලනික හැඩයකි. (ආයතනයක හිමිකරු "බොස්"ගේ ජවනිකාවෙන් මිදී නායකයෙකු ලෙස කණ්ඩායම සමග එකට වැඩ කරයි නම් එය වඩා සාර්ථක හා යහපත් ක්‍රමයක් බව ලියුම්කරුද අත්දැකීමෙන්ම දනී.) එතැන් සිට කතාව වාමාංශික දේශපාලන හැඩයක් ගනී.

ඉන්පසු "Purchasing lanka" ආයතනය පාරීබෝගික සේවා වැටලීම් අංශයේ වැටලීමට ලක්වන අවස්ථාව මත්කයට නංවා ගමු. මෙම අවස්ථාවේදී ජෙහාන් සහ ප්‍රියන්ත වාහනයට නංවාගෙන රැගෙන යන අතරමගදී සිදුවන කතාවේ ජෙහාන්ගේ කඩුපහරවල් වැනි දෙබස්.."ඔය කුරුඳුවත්තෙ පොමනේරියන් බැල්ලියෝ දන්නව නම් ගමේ එකාව පාවල දෙන්නෙ ගමේම එකෙක් කියල උන්ට ලැජ්ජ හිතෙයි නේද?... සැබැවින්ම ලැජ්ජා විය යුත්තේ කවුද යන වග ්‍රේක්ෂකයාට තේරුම් ගන්නට ඉඩ හරියි. "පීඩිතයාගේ පිටට පිහියෙන් අනින්නේ ඔහුගේ ම පන්තියේ එකෙක් සර්.  හැබැයි ඔය ගමේ කොල්ලන්ගේ එකක් තියෙන්නෙ කවදාවත් ගමේ කොල්ලෙක් පාවල දෙන්නෙ නෑ ඔය පලවෙනි පන්තියේ උද්දච්ච හැත්තට".  මෙහිදීත් පංතීන් වෙන්කිරීම තුල වාමාංශික හැඩය ඉස්මතු කරයි. තවද  අංජනාගේ සැමියාට වෙනත් සම්බන්ධතායක් ඇතැයි සැක කර ඒ ගැන සොයා බලන්නට ජෙහාන්ට භාරදුන් අවස්ථාවේ දෑස් වලින් ද වතින ක්‍රමයේේ අර්බුදය පවුලට බලපා ඇති ආකාරයය මනාව ඉස්මතු කරයි. මේ සියල්ල වාමාංශික දේශපාලනයට අදාල කරුණුයි.

නමුත් වාමාංශික වෘත්තීය සමිති විසින් ගිහාන්ට ලබාදෙන්නට යන ොන්ත්‍රාත්තුව පිළිබඳ සාකච්ඡාවේදී මතුකරන යම් කරුණු හේතුවෙනි සප්‍රේක්ෂකයන් තුළ තිගැස්මක් ඇති කරවීය. එම වෘත්තීය සමිති සිදු කරන දේශපාලනය  පහත් මට්ටමේ එකක්යැයි බොහෝ දේ දෙනා විශ්වාස කළේය. දේශපාලනය යනු බලය ලබා ලබා ගැනීම හෝ පවත්වා ගැනීම සඳහා යි ිදු කරනු ලබන ක්‍රියාවලියකි. එම ක්‍රියාවලියේදී වර්තමානයේදී පැහැදිලිවම අනුමත කළ නොහැකි බොහෝ දෑ සිදුවේ .නමුත් එය වාමාංශික දේශපාලනයේ වරදක් නොව පවත්නා දේශපාලන භාවිතාවේ වරදකි. නමුත් කතාවේ එම කොටස දක්වා වාමංශික හැඩයක් ගත්තද එම සිදුවීම හරහා වාමාංශික දේශපාලයේ යම් පැතිකඩක් සමාජයට නිරාවරණය කිරීම කූබියෝ හරහා විශිෂ්ඨ ලෙස සිදු කෙරීය. එමෙනම "ශාක්‍යා හෝල්ඩින්" ආයතනය තුලට ප්‍රියන්තව යැවිය යුතුයි යන්න සාකච්චා කරන අවස්තාවේ ජෙහාන් සාම්ප්‍රදායික ලෙස සියලු දෙනාට අවබෝදය ලබා දී විප්ලවය සිදු කල නොහැකි බවත් ඕනෑම කෙනෙකු තමන්ගේ වාසිය ගැන සැලකිලිමත් වන බව මතක් කරදීම ද තවත් වැදගත් කරුණකි..

තමත් නිශ්චිතවම ජෙහාන් කවුරුදැයි විස්වාස කල නොහැකි වුවත් මේ තාක් එලි දැක්වූ කොටස් වලින් වාමාංශික දේශපාලනයට ඉහල තැනක් ලැබුනි. එමෙන්ම සාර්ථකව වම "කොනිත්තා" තිබුනි..

Friday, November 3, 2017

Agama darshanaya ha mithyawa

                                                          ආගම  දර්ශනය හා මිත්‍යාව

 "ඕක ඉතිං අපේ කරුමේ", "කරුමේ වළක්වන්න බෑ නේ", "ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත", "දෙවියන්වහන්සේ කියපු දේවල් ප්‍රශ්න කරන්න බෑ". අප සමාජයේ බහුතරයක් වැඩිහිටි ප්‍රජාව මේ ආකාරයෙන් සියල්ල කර්මයටත් දෙවියන් වහන්සේගේ කැමැත්තටත් භාර දී තිබූ වකවානුවක් පසු කරමින් අද වනවිට යම් කාරණා සම්බන්ධයෙන් ඒ හා බැඳුණු ආගමික වටපිටාව යම් ආකාරයෙන් හෝ විමසා බලන්නට උත්සාහ කරමු.

වසර 2500කට ඉහත දී බුදුන් වහන්සේ ඉදිරිපත් කළ බෞද්ධ දර්ශනයේත් ජේසුස් වහන්සේගේ ධර්මයේත් අල්ලා දෙවියන්ගේ ධර්මයේත් මා විශ්වාස කරන ආකාරයට මූලික හරය වන්නේ මිනිසුන් සහ සමාජය වඩා යහපත් බවට පත් කිරීමට මග පාදා දීමයි. ඒ ඒ කාලවලදී ඒ ඒ ශාස්තෘවරුන් ඒ සඳහා විවිධ උපක්‍රම යොදා ගත්හ. මා විශ්වාස කරන ආකාරයටයට බුදුන්වහන්සේ හොද නරක හැසිරවීම්ට "පින් පව්" යන වචන භාවිතා කරන ලද්දේත් අනෙක් ආගම්වල "දෙවියන් වහන්සේගේ කැමැත්ත" යන යෙදුම් භාවිතා කරන ලද්දේත් එකල අවිඥානික සමාජයට සියල්ල දාර්ශනිකව අවබෝධ කර දීම අපහසු නිසාත් කුමන හෝ ආකාරයකින් එම සමාජය යහපත් දිශාවකට යොමුකල යුතු නිසාත් ය.



නමුත් පසු කාලීනව එම විඥානවාදී හිඩැස් වලින් ප්‍රයෝජන ගත් සමහර ප්‍රබලයින් ඒවා සමාජයේ අයහපත කරා යෙදවීය. ශුද්ධවූ යුද්ධය නමින් ඝාතන සිදු කරන්නේ ඒ නිසාවෙනි. එය එක් ආගමකට පමණක් ලඝු වූවක් නොවේ. කුළ බේදයට එරෙහිව විප්ලවය සාර්ථකව ජයගත් බුදුන්ගේ දර්ශනය අනුගමනය කරන්නේ යැයි පවසන බෞද්ධයන් තුළ කෙතරම් කුළ ගෝත්‍ර වාදය ඇත්තේ ද යන්න මේ සඳහා තවත් නිදසුනකි. සැමට මෛත්‍රිය පතුරුවන්නට උගන්වන බෞද්ධ දර්ශනය අනුගමනය කරනන්නන් බුදුදහම රැකගැනීමට "කෙලක් පරයින් නැසීමට" සූදානම් ය. සැබැවින්ම අප අනුගමනය කරන්නේ එදා ඒ දාර්ශනිකයන් සඳහන් කළ දර්ශනයන් නොවන බව පැහැදිලිය.

කාල් මාක්ස් වැනි දාර්ශනිකයන් සිය දර්ශනය සඳහා ප්‍රධාන වශයෙන් භෞතිකවාදී පදනම් යොදා ගත්හ. විද්‍යාවේ ඉහලින්ම සදහන් කරන ඇල්බට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ගැන කරුණු සඳහන් කිරීම්ට වසර දහසකට පමණ පෙර බුදුන් වහන්සේ ඒ පිළිබඳ ව දේශනා කර ඇත. නමුත් එම පැරණි දර්ශනයන් සමාජගත වූ විඥානවාදී පදනම් නිසා පසු පසුකාලීනව ඒවා තුළ ගැටලු මතු වූ බවට සිටිය හැක. ලෝකය දෙවියන් මැවූවක් නොවන බවට ඔප්පුවී හමාරය. නමුත් සියල්ල භෞතික වාදයට අනුව පැහැදිලි කළ නොහැකි වුවත් එය වඩාත්  තර්කානුකූල පදනමක්කි. පවට ඇති ඇති බිය නිසා හෝ පසුකාලීනව කර්ම විපාක පලදේවී  යන අදහසින් හෝ වැරදි ක්‍රියා නොකිරීම යහපත් වුවත් යම් අසාර්තකත්වයකදී තමන්ගේ කරුමය යැයි සිතා උත්සාහය අත් හැරීම අනුවණකමකි. තම දරුවාට පාසලක් නොලැබෙන අවස්ථාවකදී එය කර්මයට භාර දී අත් හැරීම නොව දරුවරුවාගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කළ යුතුය.

 ආගම් දර්ශනයන් ඉගෙන ගමු. සියල්ලට ගරු කරමු. භෞතිකවාදය හදාරා මිත්‍යාවට මිත්‍යාවට වැට බදිමු. 

Saturday, October 28, 2017

‌Minisage Sambawaya


                                                                     මිනිසාගේ සම්භවය

දෙවියන් වහන්සේ විසින් මිනිසා මැවූ බවත් ජීවන හුස්ම පිඹ ප්‍රාණය ලබා දුන් බවත් ඉතිහාසයේ විවිද ආගම් වල පොත පතෙහි සඳහන් වෙයි. මේ අයුරින් ජීවයේ සම්භවය, මිනිසාගේ  සම්භවය පිළිබඳ ගැටලුව වසර දහස් ගණනක් තිස්සේ සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් වඩා නිවැරදි හා මැවුම් වාදයට එරෙහි මතයක් පළමුවරට ඉදිරිපත් කළේ ප්‍රංශ  ජාතික ලමාර්ක්(1744-1829) විසිනි. "සත්ව විද්‍යාවේ දර්ශනවාදය"(1809) නමින් පොතක් පළ කළ ඔහු සත්ත්ව සංහතිය සහ පැළෑටි ලෝකයේ පරිණාමය ඔප්පු කරමින් කරුණු පෙන්වීමට සමත් විය. එහෙත් එම අවධියේදී සොබාදහම තුළ ජීවීන්ගේ පරිනාමය ගැන හෝ මිනිසාගේ ස්වභාවික සම්භවය ගැන හෝ සෑහෙන සාදධක නොතිබුණි.



නමුත් ඉන්පසුව චාල්ස් ඩාවින් විසින් කෘතිම වරණය මූලධර්මය යටතේ ප්‍රකුර්තියේ සත්ව හා පැළෑටි විශේෂ පරිවර්තනය වන බවත් එය නොකැඩෙන සේ වෙනස් වීම් සහ ආවේණිය සමඟ බැඳී ඇති බවත් පෙන්වීම් නිසා පෙර පැවති විශේෂයන්ගේ ස්ථාවර භාවය පිළිබඳ මතය සුන් වී ගියේය. ඩාවින්ගේ නියාය අනුව මිනිසා ඇතිවීමේ ප්‍රධාන සාධක වූයේ විකෘතිය, පැවැත්ම සඳහා සටන, ස්වභාවික හා ලිංගික වරණය, ආවේණිය හා පරිසරයේ බලපෑම්ය. මිනිසාගේ වර්ධනයේදී ජීව විද්‍යාත්මක කරුණු පමණක් නොව සමාජ විද්‍යාත්මක කරුණු ද බලපෑ බැවින් මානව විද්‍යාවේ සම්පූර්ණ ක්‍රියාදාමය විස්තර කිරීම්ට නොහැකි විය.



පසුව මාක්ස්වාදයේ නිර්මාතෘවරුන් වන එංගල්ස් විසින් මිනිසාගේ සම්භවයට  ශ්‍රමය ඉටුකල කාර්ය පිළිබඳව "සොබාදහමේ දයලෙක්තිකය" පොතට කරුණු ඇතුළත් කර ඇත. එංගල්ස්ගේ මතය අනුව සෘජු ගමන වානරයා මිනිසා බවට පත්වීමේ තීරණාත්මක පියවර විය. "ගස් නැගීමේ දී අත් වලට හා පා වලට විවිධ කාර්යයන් පැවරේ. ඔවුන්ගේ ජීවන රටාව හේතු කොටගෙන සමතලා බිම් වල සංචාරණය කිරීමට සිදුවූවිට මෙම වානරයෝ ඇවිදීමේදී සියම අත් භාවිතය ක්‍රමයෙන් ඈත් වූ අතර වඩ වඩාත් සෘජු ඉරියව්වක් යොදා ගත්හ." (සොබාදහමේ දයලෙක්තිකය පි.277)



මොළයේ සංවර්ධනයය ගැන එංගල්ස් මෙසේ ලීවේය. ප්‍රථමයෙන් ශ්‍රමය ද ඉන් අනතුරුව සහ එයත් සමග කතාව ද යන මේ දෙකෙහි උත්තේජනය යටතේ වානරයාගේ මොළය ක්‍රමයෙන් මිනිස් මොළය දක්වා පරිවර්තනයය වූ අතර මිනිස් මොලය වානරයාගේ මොළයට වඩා විශාල වී අංගසම්පූර්ණ බවට පත්විය. මොලය වර්ධනය වීමත් සමඟම එහි ඉතාමත් සමීපතම උපකරණ වන සංවේදී ඉන්ද්‍රියන් වර්ධනය විය. කතාවේ ක්‍රමානුකූල වර්ධනයත් සමඟම ඊට අනුරූපව ශ්‍රවණ ඉන්ද්‍රියන් සියුම් වීම සිදු වූවාක් මෙන් සමස්තයක් වශයෙන් මොළයේ වර්ධනය වීමත් සමඟම සියලුම ඉන්ද්‍රියන් සියුම් වීමක් සිදුවේ.(ස්භාදහමේ දයලෙක්තිකය 282-283)

එමෙන්ම  සෘජු ගමන් විලාසයක් ඇති වානරයාගේ අත නිදහස් වීමත් සමග එය විවිද ක්‍රියා වලට යොදා ගැනීම කැපී පෙනෙන කාරණයක් ලෙස දැක්විය හැක. මිනිසාගේ අතේ මහපට ඇඟිල්ල අනෙක් ඇඟිලි වලට විරුද්ධව ස්වාධීනව ඇති නිසා යම් දෙයක් ග්‍රහණය කර ගැනීමට හා හැසිරවීමට හැකි වී තිබේ. මුල් කාලයේ දඩයම සඳහා ආයුධ හසුරුවා ගත්තේ ද අද වන විට විශිෂ්ට මූර්ති, චිත්‍ර නිර්මාණ එළි දකින්නේ ද මෙම සුවිශේෂී ලක්ෂණය නිසාවෙනි.

 මිනිසාගේ පරිණාමය සමග ශ්‍රමය භාවිතා වූ ආකාරය හා ගෝත්‍ර,  පවුල් ගොඩන නැගීම වැනි කාරණා පිළිබඳව ඉදිරියේදි කතා කරමු.




 ජ.වි.පෙ අධ්‍යාපන අංශයේ  "විමර්ශන" තොරතුරු මාසිකයේ කරුණු ඇසුරෙනි.

Monday, October 23, 2017

ව්‍යවස්ථා බිල්ලා සහ රටට කෙළවෙන??? නව ඡන්ද ක්‍රමය.

                                  ව්‍යවස්ථා බිල්ලා සහ රටට කෙළවෙන??? නව ඡන්ද ක්‍රමය. 

වර්තමානයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන්නේ නව ව්‍යවස්ථාව රටේ ඒකීය භාවයට හානියක් වේද? ඒ හරහා රට බෙදීමක් ඇති වේද? යන්නයි. මෙම ලිපිය ඔස්සේ නව ව්‍යවස්ථාව කුමන හැඩයක් ගනී ද යන්න නිශ්චිතව පැහැදිලි කිරීමට නොහැකි වීම සම්බන්ධව කණගාටු වෙමි. මන්ද මේ වනවිට ව්‍යවස්ථාවට අදාල මූලික කරුණු සාකච්ඡා වෙමින් පවතියි. නමුත් බොහෝ දෙනා මේ වන විට සෑදෙන නව ව්‍යවස්ථාවෙන් රට බෙදෙන බව නිගමනය කර අවසන් ය. එය ඔවුන්ගේ දේශපාලන දූරදර්ශීභාවය හෝ ජාතිවාදී හුඹස් බිය නිසා විය හැක. නමුත් අප පැහැදිලි කරගත යුතු නිශ්චිත කාරණා කිහිපයක් ඇත.

  සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් නැති 72 ජනරජ ව්‍යවස්තාවේත් නැති කාරණයක් 77 ගෙනෙන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතය. එනම් ඊළඟ ව්‍යවස්ථාව  සැදිය යුතු ක්‍රමවේදය එහි සඳහන්ය. මෙම ක්‍රමවේදයේ දී පාර්ලිමේන්තුවේ අවස්ථා දෙකකදී තුනෙන් දෙකක බලයක් සහ ජනමත විචාරණයක් තබා එය ජයග්‍රහණය කල යුතුය.ඒ අනුව දැනට යෝජනා වී ඇති කරුණුවල  හෝ ව්‍යවස්ථාවට එකතු වන කරුණුවල  හෝ ගැටලුවක් පවතීනම් ජනතාවට එරෙහි විය හැක. ජාතිකත්ව ලෙස ගත් විට ඉතිහාසය පිරික්සා බැලීමේදී අවබෝධ වන කරුණ නම් ඉතිහාසයේ කුවේණිගේ පරපුර සහ උතුරැ ඉන්දීය ආර්යයන් පමණක් නොව දකුණු ඉන්දියානුවන්, පරංගින්, ලන්දේසින් සහ තවත් ජාතීන් සමූහයක එකතුවක් අතීතයේ පටන් ලංකාවේ දැකිය හැක. භූමිය ලෙස සැලකූ විට උතුරු ප්‍රදේශය වසර ගණනාවක් දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් සතු විය. එම නිසා ඒකීය බාවය පිළිබඳ නිර්වචන තුලින් මේ වන විටත් සුරැකිව පවතින්නේ ජනතා පරමාධිපත්‍යයට අදාල ඒකීය භාවයයි. ලෝකයේ පිළිගැනීමට ලක්වන්නේ ද එයයි.එම ඒකීය භාවයට හානියක් ඇති වන්නේද යන්න ව්‍යවස්ථාව සම්පාදනය කළ පසු පරීක්ෂාකර බැලිය යුතුය. නමුත් කරුණු සොයා බැලීමකින් තොරව ව්‍යවස්ථාවට විරුද්ධ වීම විහිලුවකි.ගෙන එන්නට නියමිත නව ව්‍යවස්තාව මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාල යෝජනා ඇතුලත් වන බවටත් කතාබහක් ඇති වී තිබේ. පවතින පසුගාමී ධනේශ්වර ක්‍රමය පවත්වාගෙන යාමට අවශ්‍ය අසීමිත බලය නඩත්තු කරනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීම රටට අවශ්‍යම කාරනයකි. අවසාන වශයෙන් මේ සෑදෙන්නේද සාමාන්‍ය දනපති ව්‍යවස්තාවක් ම බව මතක් කිරීමට කැමැතියි.



නව ඡන්ද ක්‍රමය දෙසට හැරෙමු. ඊට පෙර නව  ඡන්ද පනත ගෙන ඒමට පසුබිම් වන මූලික කාරණා වූයේ මනාප ක්‍රමය සහ ගමට මන්ත්‍රීවරයකු නොමැතිය ය්න්නයි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මීට පෙර ගෙනෙන්නට නියමිත වූ ඡන්ද පනත සුළු පක්ෂ වලට යන එන මං නැතිවන සහ ‍ප්‍රදාන පක්ෂ දෙකකට පමණක් සීමා වන ඡන්ද ක්‍රමයක් බව කිව යුතුය. ඒ සදහා බරපතල විරෝධයක් මතුවුනි. නව ඡන්ද ක්‍රමය කොට්ඨාශ සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් ලෙස සැලකේ. එනම් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 60% සහ 40% ලෙස අනුපාතයකට බැඳෙයි. යම් ඡන්ද කොට්ඨාශයක් සැලකූ විට එහි මන්ත්‍රීදූර 20 ඇතැයි උපකල්පනය කළහොත් ඉන් 12 (60%) එහි කොට්ටාස 12ට ලැබේ.ඉතිරි මන්ත්‍රීධූරය 8 බෙදෙනුයේ පරාජිත ආසනවල ඡන්ද එක්තු කර එම ඡන්ද සමානුපාතික ක්‍රමයට බෙදීමෙනි. උදාහරණ ලෙස A,B,C ලෙස පක්ෂ තුනක් තරග වදින්නේ නම් A පක්ෂය කොට්ටාස හයක්, B පක්ෂය කොට්ටාස හතරක් හා C පක්ෂය ආසන දෙකක් ජයග්‍රහණයය කළ විට දිනූ කොට්ඨාශවලට අදාල ජයග්‍රහණය කළ පක්ෂවලින් කොට්ඨාශවලට මන්ත්‍රීවරු පත් කරන අතර එනම්, A-6ක් B-4ක් සහ C-2ක් ලෙස ම්න්ත්‍රීධූර බෙදී යයි.ඉතිරි මන්ත්‍රීදූර 8 A පක්ෂය පරාජය කොට්ඨාශ 6න් ඡන්ද එකතු කිරීමෙන්, B පක්ෂය පරාජය වූ කොඨ්ඨාශ 8 ඡන්ද එකතු කිරීමෙන් සහ  Cපක්ෂය පරාජය වූ කොට්ඨාශ 10 ඡන්ද එකතු කර මුලු පරජිත ඡන්ද සමානුපාතිකව බෙදා ඒ අනුව පක්ෂ තුනේ මන්ත්‍රීවරු ඉතිරි මන්ත්‍රීධුර සඳහා පත් කරයි. පෙර පැවති ඡන්ද ක්‍රමය මෙන් දිනන පක්ෂයට බෝනස් ආසන 2ක් හිමිනොවේ. ඒ අනුව ගම ජයග්‍රහණය කිරීමට නම් ගමට වැඩ කරන ගමට හිතවත් පුද්ගලයෙකුම විය යුතුය. මෙය පෙර පැවති ඡන්ද ක්‍රමයට වඩා යහපත් ඡන්ද ක්‍රමයකි.

 සාම්ප්‍රදායික දූෂිතයන්ට පාඩමක් ඉගැන්වීමට මෙවර ඡන්දය අවස්ථාවක්වක් කරගන්න. ජය!

Friday, October 13, 2017

‌Nidahas Adyapanaya rakagatha yuththe ayi?

                                                 නිදහස් අධ්‍යාපනය  රැක ගත යුත්තේ ඇයි?

නිදහස් අධ්‍යාපනය විනාශ වෙමින් යන මොහොතේක කණාමැදිරි එළියක් තරම්වත් පුංචි අදහස් කීපයකින් හෝ නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිළිබඳව ඔබ සමග බෙදා ගන්නට සිතුනි.

නිදහස් අධ් අධ්‍යාපනය යනු ‍රාථමික අධ්‍යාපනයේ සිට ප්‍රථම උපාධිය දක්වා ුදල් ගෙවීමකින් තොරව එසේත් නැත්නම් නොමිලේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියයි අප නිදහස්් අධ් අධ්‍යාපනය මේ වනවිට ලබමින් පවතින්නේ එදා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගරයන් ිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දීම නිසාය. නමුත් අප දන්නා කාරණයක් වන්නේ එදා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ිදහස් අධ්‍යාපනයේ පියා)  නිදහස් අධ්‍යාපන පනතක් හඳුන්වා දීමට පෙර සිටම නිදහස්් අධ්‍යාපනය ලබා ගැනීමට ිවිල් සමාජය තුළ ක්‍රියාකාරීන් අරගලයක නිරත වුනි .

නමුත් අප අධ්‍යාපනයේ වැදගත්කම සාකච්ඡා කිරීම්ේදී ඉතිහාසය පිරික්සා බැලීම වැදගත් යැයි සිතමි. ්‍ප්‍රාතමික සාමූහික සමාජයේ සිට නැතිනම් ගල් යුගයේ සිට මේ දක්වා මිනිසා පරිණාමනය වී වඩා යහපත් යැයි සැලකෙන සමාජය දක්වා පරිවර්තනයය වී තිබෙන්නේ මෙම අධ්‍යාපනය එසේත් නැතිනම් දැනුම් සම්ප්‍රේෂණය වීම හරහාය. ගල් යුගයේේ අහඹු ලෙස ගල් ආයුධ වලට තුවාල වීම නිසා  එම තියුණු ආයුධ හරහා දඩයම් කළ හැකි බව නිගමනය කර තියුණු ආයුධ දඩයම් සඳහා යොදාගනී. එමෙන්ම ගින්දර සොයා ගැනීම ම්නිසාගේ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ .ප්‍රාථමික සාමුහික සමාජය, ඉන් පසුව වහල් සමාජය, වහල් සමාජයෙන් පසු වැඩවසම් සමාජයත් ඉදිරියට  එද්දී මෙන්ම දැනට පවතින නේශ්වශ්වර සමාජ ක්‍රමය දක්වා සමාජ පරිවර්තනයන් එසේ නැතිනම් සමාජ ප්‍රගමනය සිදුවන්නේ මෙම දැනුම සම්ප්‍රේෂණය වීම හරහාය. නොඑසේ නම් මේ අධ්‍යාපනය ලැබීම හරහාය. 

මොහොතක් සිතන්න, ෙම අධ්‍යාපනය ලැබීම එක්තරා කොටසක්ට පමණක් සීමා වුවහොත් මෙම සමාජ ප්‍රගමනයට කෙතරම් දුරට බලපානවාද යැයි අපට සිතිය හැක. ඔබ බෞද්ධයෙක් නම් රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඉදිරියට ගමන් කිරීම දෙස මොහොතක් සිතන්න එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ද ධර්මය සීමිත පිරිසකට පමණක්, නොඑසේනම් වරප්‍රසාද ලත් පිරිස්කට පමණක් දේශනා කළේ නම් මේ දක්වා එම ධර්මය විකාශනය වීම සහ එයින් සමාජයට යහපත් ප්‍රතිඵල ඇති වීමේ හැකියාව කෙතරම් දුරට අඩු විය හැකිද ? ආතර් ශ්‍රී ක්ලාක් විද්වතාණන් පවා විශ්වය සම්බන්ධ තමන්ගෙ සොයාගැනීම් තමන්ගේ නමට ලියවා නොගෙන, එනම් පේටන්ට් බලපත්‍රයකින් තමන් සන්තක කර නොගෙන සිටියේ එය ඉදිරියට සියලු දෙනාටම භාවිතා කළ යුතු වැඩි දියුණු තාක්ෂණයක් නිසාය. එම නිසා සමාජයේ යහපත් ඉදිරි පැවැත්ම උදෙසා දැනුම, අධ්‍යාපනය සියලු දෙනාටම ලැබිය හැකි දෙයක් බවට පත් විය යුතු බව විවාදයක් නොමැත.

නමුත් මෑත කාලය වන විට සීග්‍රයෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරමින් පවතී. අධ්‍යාපනය ලාභය උදෙසා වෙළඳ භාණ්ඩයක් කිරීම තුළින් මුදල් සහිත වරප්‍රසාද ලත් සීමිත පංතියකට පමණක් සීමා වන තත්ත්වයක් ඇතිවී තිබේ. මෙය සමාජ ප්‍රගමනය බරපතළ බාධාවක් බව අවබෝධ කරගත යුතුය. බොහෝ දෙනා මතු කරන තර්කය වනුයේ මුදල් ඇති අය මුදල් දී අධ්‍යාපනය ලැබූ පමණින් එය නිදහස් අධ්‍යාපනයට බාධාවක් නොවන බවයි. මෙය හුදෙකලා කාර්ණයක් ලෙස නිවැරදි යැයි හැඟුනත් අධ‍යාපනය පෞද්ගලීකරණය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස සලකන රජයකින් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සිදු වේ යැයි සිතීම විහිලු සහගත කාරණයකි. උදාහරණයක් ලෙස නොමිලේ භාණ්ඩ ලබා දෙන කඩයක් සහ මුදලට භාණ්ඩ විකුණන කඩයක් එකම මුදලාලි කෙනෙකුට ඇතැයි සිතන්න.මෙහි මුදලාලිගේ අභිප්‍රාය වනුයේ කෙසේ හෝ ලාභය ලබා ගැනීමයි. මුදලාලිගේ නොමිලේ භාණ්ඩ ලබාදෙන කඩය දිගු කාලීනව පැවතුනහොත් භාණ්ඩ අලෙවි කරන කඩයට ලාභය  වැඩිවීමක් සිදු නොවේ. භාණ්ඩ අලෙවියේ ලාභ ලබා ගැනීමට නම් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අලෙවි කිරීම් හෝ එක් භාණ්ඩයක් නිපදවීමට වැයකරන මුදල අඩු කිරීම් හෝ එක් භාණ්ඩයක් අලෙවි කරන මුදල් වැඩි කිරීමට සිදුවේ. මෙය අධ්‍යාපනයට ආදේශ කළ විට අධ්‍යාපනය අලෙවි කිරීම්ේදී ලාභය වැඩි කිරීමට නම් ගැනුම් කරුගෙන් ලබාගන්නා මුදල් ප්‍රමාණය වැඩි කිරීම හෝ අධ්‍යාපනය ලබාදීමට යොදවන මුදල් ප්‍රමාණය අඩුකිරීම හෝ අධ්‍යාපනය ලබා දෙන ගැනුම් කරුවන් ප්‍රමාණය වැඩියි කළ යුතුය. නමුත් අධ්‍යාපනය ලබාදෙන සේවාව සඳහා ගැනුම් කරුගෙන් අය කරන ුදල් ප්‍රමාණය වැඩි කිරීම යම් සීමාවකට පමණක් සිදු කළ හැකි අතර ඉන් ඉදිරියට මුදල් ප්‍රමාණය ඉහළ දැමිය නොහැක.අනෙක් කාරනය වන අද්‍යාපනය ලබා දීමේ අවස්ථාවක් සඳහා යොදවන මුදල් ප්‍රමාණය අඩු කිරීම යනු අධ්‍යාපනයේ ප්‍රමිතිය අඩුවීමයි. එයද අපට කිසිසේත් අනුමත කළ හැක්කේ්කක් නොවේ. තුන්වැනි කාරණය ගැනුම්කරුවන් ප්‍රමාණය වැඩි කිරීම‍යි. උදාහරණයක් ලෙස ලබාදෙන උපාදි ප්‍රමාණය වැඩි කිරීමයි. නමුත් පෞද්ගලික  අධ්‍යාපනයට යැයි විශේෂිත පිරිසක් බිහි නොවන නිසා ප්‍රමාණය වැඩි කිරීමට නම් අනිවාර්යෙන්ම නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබන ප්‍රමාණය අඩු වී එය පෞද්ගලික අධ්යාපනය ලබන තත්වය දක්වා යොමු විය යුතුය.එනම් නිශ්චිතවම අධ්‍යාපනය පෞද්ගලීකරණය ස්ථාවර වීමට නම් නිදහසිදහස් අධ්‍යාපනය නැති වී යා යුතුය. වර්තමානයේ වනවිට සිදුවන්නේ  එයයි. 



මෙලෙස අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම නතර කළ යුතු බවට විවාදයක් නොමැත. ඉතිහාසයේ පටන් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ සංවිධාන අධ්‍යාපන පෞද්ගලීකරණයට විරුද්ධව සටන් වැදුණි. උතුරු කොළඹ වෛද්‍ය පීඨ සටන, අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි සටන, ජයතිලක කමිටු වාර්තාවට, තාරා හැරල් වාර්තාවට විරුද්ධව සිදුකළ සටන් මේවාට උදාහරණ කිහිපයකි. වර්තමානය වනවිට ජාතික ප්‍රශ්නයක් ලෙස පැන නැගී ඇති සයිටම් විරෝධී අරගලය ඒ හා සමාන අරගලයකි. නමුත් අප තරයේ මතක තබා ගත යුතු කාරණය වන්නේ,  අධ්‍යාපනය ලැබීම සියලු දෙනාගේ අයිතියකි. වර්තමානය වනවිට අධ්‍යාපනය ලබන කිසිවෙකුගේ(පෞද්ගලික ආයතන වලින් හෝ) අධ්‍යාපන අයිතිය නැති කිරීමට තවත් අයකුට නොහැක. නමුත් වර්තමාන ශිෂ්‍ය වියාපාර සටන් වල සටන් පාඨ සලකා බැලූ විට උපාධි කඩ අහෝසි කරනු යන්න අප හැමටම පෙනී යන ප්‍රධාන කාරණයකි. මෙය අප විමසා බැලිය යුතුය. නිදහස් අධ්‍යාපනය රැකග ගැනීමට නම් අනිවාර්ය අධ්‍යාපන පෞද්ගලික පෞද්ගලීකරණය නතර කළ යුතුය. උපාධි කඩය අහෝසි කල යුතුය. නමුත් දැනට අධ්‍යාපනය ලබන කිසිවෙකුගේ අධ්‍යාපන අයිතිය අහෝසි නොවී තිබුය යුතු මෙන්ම දැනට පවතින අද්‍යාපන අවස්තා ප්‍රමාණය අඩු නොකල යුතුය. එනම් යම් උපාදි කඩයක් වැසී යන්නේ නම් ඊට සමාන නිදහස් අද්‍යාපන අවස්තා ඇතිවිය යුතුමය.

එසේනම් සියලු දෙනාගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා වීම සහ සමාජ ප්‍රගමනයට අත්‍යවශ්‍ය සියලු දෙනාටම අධ්‍යාපනය ලැබීමේ හැකියාව නිශ්චිතව පවත්වාගැනීමට නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා එක්වෙමු. ජය.. 

   

Wednesday, October 11, 2017

Vilpaththu , Meethotamulla, Uma oya vinaashaya saha ratee anagathaya

                                 විල්පත්තු , මීතොටමුල්ල, උමාඔය විනාශය සහ රටේ අනාගතය...

             මෑත කාලයේදී ශ්‍රී ලංකාවට ස්වභාවිකව විපත් වලින් නම් අඩුවක් නොතිබුණි. ඊට අමතරව ස්වභාවික නොවන  මීතොටමුල්ල සිද්ධිය වැනි ආපදාවන්ද අහිංසක ජනතාවට ජීවිත අහිමි කරමින් ජන ජීවිතය අඩාල කිරීමට සමත් විය. මේවා වළක්වා ගත නොහැකිද? මෙය ඉතා ඉක්මනින් පිළිතුරු සෙවිය යුතු පැනයකි.

විල්පත්තු
අර්ද ශුෂ්ක කලාප වලට දැඩිව බලපාන නියගය ඇති වීමට බලපාන ප්‍රදානම හේතුව වන විනාශය බව අමුතුවෙන් කිවයුතු නැත. වන විනාශය ගැන කතා කිරීමේදී පලමුවෙන් සිහියට නැගෙන විල්පත්තු වන විනාශය ගැන මොහොතකට අවදානය යොමු කරමු. විල්පත්තු ජාතික වන උද්‍යානයට උතුරුන් , කල් ආරු වනාන්තරය නැතහොත්
මරිච්චුක්කඩ්ඩෙයි-කර්ඩික්කුලි වන රක්ශිතයේ අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් නීති විරෝදී ලෙස 2010 වසරේ සිට එලිපෙහෙලි කරමින් ඉඩම් අත්පත් කරගනිමින් සිටී. රිෂාඩ් බදුයිදීන් අමාත්‍යවරයා මෙහිදී ප්‍රදාන කර්යබාරයක් සිදුකරයි. එහිදී පලමුව අදාල අමාත්‍යවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට හා මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාටදැඩි බලපෑම් එල්ලකර වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වනරජයට අයත් වනාන්තර බිම් පාරිසරික නීති උල්ලංඝනය කරමින් වෙන්කර ගැනුනි.ඉන්පසුව එම භූමිය දිස්ත්‍රික් ලේකම්වරයා හරහා අක්කර භාගය බැගින් වූ ඉඩම් කැබලි වලට වෙන් කර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරන මුවාවෙන් පුත්තලම, කල්පිටිය හා මන්නාරම ඉඩම් ජනතාවට බෙදා දෙන ලදී.




බලධාරීන්ද නිසොල්මන්ය.මන්ද පාලකයන්ට ඉහලින් යා නොහැකි නිසාය. දේශපාලකයන්ට අවශ්‍ය රටට කුමන විනාශයක් සිදු වුවත් තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීමටය. අනිත් වැදගත්ම කාරණය වන්නේ මේ සඳහා ජාත්‍යන්තර ආධාර ලැබී ඇතිි බවය. නියගය වැනි විපත් නතර කිරීමට නම් මෙවැනි වන විනාශය නතර කරනවා පමණක් නොව නව රුක් රෝපණ වැඩ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව අපගේ අදහසයි.

උමාඔය ව්‍යාපෘතිය පරිසර තත්ත්ව වාර්තා සැලකිල්ලට නොගෙන ඉදිකිරීම් සිදු සිදුකරීමෙන් සිදුවන විනාශයන් පිළිබඳව සැලකිලිමත් වීමේදී උමාඔය ව්‍යාපෘතියට අදාල පරිස්ර සංහාරය කතා කළ යුතුම කාරණයකි. එය මේ වනවිට බදුල්ල , බන්ඩාරවෙල ජනතාව අන්ත අසරණ භාවයට පත්කර ඇත. පොළොව ඉරිතලා, ගෙවල් ගිලා බසිමින්, ළිං සිඳී යමින් තවදුරටත් එම ප්‍රදේශවල ජීවත් වීමට නුසුදුසු තත්වයක් ඇති වෙමින් පවතී. පරිසර තත්ත්ව වාර්තාවක් නිවැරදි ආකාරයට නොගෙන ප්‍රමිතියකින් තොරව සිදුකළ මෙම ව්‍යාපෘතිය පිළිබද කාලයක සිට පරිසරවේදී සහ දේශපාලන ක්‍රියාකාරීන් විරෝධය පළ කළත් බලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වූයේ නැත. අප ඇතුලු විශ්ව විද්‍යාලය සිසුන් පවා කරුණු සොයා බැලීමට එම ප්‍රදේශ වලට ගිය අවස්ථාවලදී පවා ජේවීපී කාරයන් යැයි හංවඩු ගසමින් දෝෂාරෝපණය කළ ද අවසානයේ ඔවුන්ටද පරිසරය සංහාරයට එරෙහිව සටන් කිරීම හැර වෙන මගක් නොවිය.

නමුත් දැන් ඔවුන් ද ප්‍රමාද වැඩිය. මෙම ව්‍යාපෘතිය සිදු කරනුයේ ඉරාන සමාගම්ක් විසිනි. නිල නොලත් ආරංචි මාර්ග අනුව රාවණා රජුගේ පුරාවෘත්ත පිළිබඳව උනන්දුවක් දක්වන මෙම කණ්ඩායම උමගේ කැණීම් මාර්ගය ආරක්ෂක ගමන් මාර්ගයෙන් තොරව රාවණා රජු වාසය කළා යැයි සඳහන් ස්ථාන හරහා රැගෙන යන්නට උත්සාහ කළ බවද දැනගන්නට ලැබේ. අවසානයේ නිවැරදි පරිසර තත්ත්ව වාර්තා සලකා නොබැලීම සහ වගකීම් රහිත පාලකයින්ගේ ක්‍රියාකලාපය නිසා විශාල පරිසර හානියක් සිදුවී තිබේ.
මීතොටමුල්ල කුණු කන්ද
ජීවිත රැසක් බිළිගත් මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම ස්වභාවික විපතක් නොවේ. කුණු කන්ද පිලිබඳවත් එය නාය යෑමට ප්‍රථම බලධාරීන් දැනුවත් කළ ද, ඊට එරෙහිව සටන් කළ ද මර්දනය හැර පිළිතුරක් නොවීය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මෙම ප්‍රශ්නයට තවමත් පාලකයන් විසදුම් ලබා දී නොමැත.



ධනේෂ්වර පාලකයන්ට මේ සඳහා විසදුම් ලබාදීමට නොහැකි බවත් අපි දනිමු, එදා කිලෝ ගණනින් නිවසට රැගෙන ගියදෑ අද රැගෙන යන්නේ කුඩා ශැශේ පැකට් ලෙසයි.ඒ මෙම ධනේශ්වර ආර්ථිකය මගින් ජනතාවගේ ක්‍රයශක්තිය එසේත් නොමැතිනම් මිලදී ගැනීමේ හැකියාව අඩු කර ඇති නිසාය. පොලිතීන් භාවිතය වැඩීඩීමට එය ප්‍රධාන හේතුවකි අනෙක් කාරණය ක්‍රමවත් නගර සැලැස්මක් නොමැති වීමයි. ධනේශ්වර පාලකයන් පරිස්ර හිතකාමී නොවේ. ඔවුන් සිහි විකල් වූ සුනඛයන් මෙන් මුදල් පසුපස හඹා යෑම නිසා ඔුන්ට පරිසර හිතකාමී ක්‍රමවත් නගර සැලසුම් අවශ්‍ය නැත. කොළඹ නගරයට කිසි ලෙසකින්වත් දැරිය නො නොහැකි ජනතාවක් දිනපතා කොළඹ නගරයට ඇදී රට පුරා විහිදුනු සංවර්ධන සැලැස්මක් භාවිතා කරන්නේ නම් මේ තත්ත්වය උදා නොවේ. රටපුරා ප්‍රදේශ ගණනාවකින් රැගෙන එන කුණු වල බර අවසානයේදී කොළඹ නගරයට දැරීමට සිදුවේ. මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නම් අනිවාර්යෙන්ම කොළඹ නගරය කේන්ද්‍ර කරගත් සංවර්දන සැලසුමක් වෙනුවට ලංකාව පුරා විහිදුනු සංවර්දන සැලැස්මක් ක්‍රියාත්මක කල යුතුය. බෑවුම් ප්‍රදේශවල සිදුකරන වන විනාශය නිසා සිදුවන නායයෑම් තවත් ඛේදනීය තත්වයකි.රට මැදට වන්නට නැතිනම් මධ්‍යම කන්ද කඳුකරය දෙසට වන්නට ඇති බෑවුම් ප්‍රදේශවල වගා කටයුතු සහ වෙනත් කටයුතු සඳහා සීග්‍රයෙන් වන විනාශය සිදුවෙමින් පවතී. මේ නිසා නාය යාමේ අවදානම දිගින් දිගටම වර්ධනය වෙමින් පවතී. මිනිසාගේ අදුරුදර්ශී ක්‍රියා පිළිවෙත නිසා ඉදිරියේදී බරපතල අවදානමක් ඇතිවන බව මෑත කාලයේ දී සිදු වූ නායයෑම්වලින් අපට අවවබෝධ කරගත හැක. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මොණරාගල දිස්ත්‍රික්කයෙ අක්කර 460ක් බහුජාතික සමාගමක් වන ඩෝල් සමාගමට කෙසෙල් වගා කිරීම් සඳහා ලබා දීම. දයා ගමගේ විසින් සිදුකරන පානම ඉඩම් කොල්ලය, යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයෙන් අක්කර දහසක් චීනයට ලබා දීම, වරාය නගර ව්‍යාපෘතිය හරහා සිදුවන පරිසර හානිය වැනි තවත් පරිසර විනාශ රැසක් පිළිබඳ තොරතුරු පළ කළ යුතු වුවත් ලිපිය දීර්ඝ වන නිසා මෙයින් නවතිමි .

----පරිසරවේදී සජීව චාමිකර සහෝදරයාගේ තොරතුරු ඇසුරෙන්....


Thursday, October 5, 2017

Awasarai...

                         "අදුර තුළ එලිය විහිදන්නට" කණාමැදිරියාටත්  අවසරයි..

            ප්‍රාථමික අද්‍යාපනය ලබා ගත්තු ගා/ ඇළකාක ම.විද්‍යාලයෙන් අද්‍යාපනය(විෂය දැනුම) ලැබිය යුතුය යන ඉලක්කයත් එතැන් සිට උ.පෙ දක්වා අද්‍යාපනය ලැබූ අම්බලංගොඩ ශ්‍රී දේවානන්දයෙන් විශය දැනුමට අමතරව සමාජ දැනුමත් යම් තරමකට ලබාගෙන සබරගමුව වි.විද්‍යාලයට ඇතුලත් උනේ ලොකු ඉලක්ක හිතේ තියාගෙන නෙමෙයි.

            ඒත් සරසවි ජීවිතය සම්පූර්ණයෙන්ම මා වෙනස් පුද්ගලයෙකු බවට පත් කලා කිව්වොත් නිවැරදියි. නිදහස් අද්‍යාපනයට වගකියන පුද්ගලයෙකු වන්නටත් එය ආරක්ශා කරන්නටත් සමස්ත සමාජයේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමටත් සබරගමු මෑණියන් මා පෙලබවීය.(දැනට නම් කරල තියෙන්නෙ බොහොම පුංචි දේවල්). දැනට පවතින සමාජ වික්ෘතිය වටහා ගනිමින් එය වෙනස් කරන්නට යම් හෝ පිටුවහලක් වන්නට විවේචනාත්මක ලිපි පෙලකින් ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙමි.

           

අවසාන වශයෙන් මගේම බ්ලොග් අඩවියක් පටන් ගන්නට මට උපදෙස් දුන් චතුරංගවත්  සහෝදරත්වයෙන් මතක් කරමින් දැනට නවතිනව.. ජය!