Sunday, April 29, 2018

වෙනසක ඇරඹුම - 11 කොටස

10 වන කොටස මෙතනින්.

තාවකාලික පන්ති තහනම ඉවරවෙන්න දවස් දෙකකට කලින් තමයි පීඨාධිපතිතුමා එක්ක සාකාච්චාව තිබුනෙ. එදාම තමයි Google I/O කියන තොරතුරු තාක්ෂණ වැඩසටහන තිබුනෙ. කලින් කට්ටියත් එක්ක ඒකට යන්න සැලසුම් කරල තිබුනත් මේ වැඩේ නිසා යන්න උනේ නෑ. කොහොම හරි අපේ එකෙක් මටත් එක්ක ටී ෂ‍ර්ට් එකක් ගෙනැල්ල. හොඳම වැඩේ කියන්නෙ ඌ මට ගෙනාපු එක නිසා වෙන එකෙක්ට ඇඳල බලන්නවත් දීල නෑ.

ඔන්න දැන් අපේ බැජ් එකේ හතර දෙනයි සීනියර් බැජ් එකේ අයියයි පීඨාධිපති කාර්‍යාලයට ගියා. අපි මීට කලින් මේ වගේ අද්දැකීම් වලට මුහුණ දීල තිබුනෙ නැති නිසා පොඩි චකිතයක් තිබුනට සීනියර් බැජ් එකේ අයියට එහෙම අවුලක් නෑ. ඒ නිසා සාකච්චාව ආරම්භ උනේ එයා එක්ක. එයා තමයි මුල් ටිකේ වැඩිපුරම කතා කරේ. ඒත් ඒ කතාව ඇතුලෙ පැහැදිලිව පෙනෙන්න තිබුණු දෙයක් තමයි ආචාර්‍ය්වරයෙක් වෙච්ච (දැන් මහාචාර්‍ය්) පීඨාධිපතිතුමා සීනියර් බැජ් එකේ අයිය පරිණත නෑ කියල පෙන්නන්න සෑහෙන්න උත්සහා කරා. ඒ හැම වෙලාවකම ශිෂ්‍ය නායකයෙකු ලෙස ඔහු පරිණත බව ඔප්පු කරා. කතාව දිගට ඇදෙද්දි අපේ හිතේ තිබුණු චකිතය ක්‍රමයෙන් නැති වෙමින් තිබුණ. එතන හිටියෙ පීඨාධිපතිතුමා , මාශෙල් සහ සිද්දිය වන අවස්තාවේ හිටපු අචාර්‍යවරියක්. ඒ ආචාර්‍යවරියත් එක්ක තමයි මම ඒ සිද්දිය වෙන වෙලාවෙ කතා කර කර හිටියෙ. ඒ නිසා මම කතා කරන්න ගත්ත. ඒ වෙද්දි නවක වද චෝදනාව සම්පූර්ණයෙන්ම යට ගිහින් තිබුනෙ. එයාලත් පිලිඅරගෙන තිබුනෙ නවක වදයක් උනේ නෑ කියල. චෝදනාව තමයි ආචාර්‍ය්වරුන්ට බැන වැදීම.

මම:     සර්, ඔය සිද්දිය වෙන වෙලාවෙ මම හිටියෙ මේ මැඩම් එක්ක කතා කර කර.. මම                 හරි නේද මැඩම්?
මැඩම්:  ඔව්. මම ඒ වෙලෙත් ඔයගොල්ලොන්ට කිව්වනෙ මෙතනින් යන්න කියල.
මම:    හරි මැඩම්, මැඩම් එක්ක මන් කතා කරද්දි මන් ආවේගශීලී විදිහට හැසිරිලා                          බැන්නද?
මැඩම්: නෑ. ඔයා හොඳට කතා කරා.
මම:   මෙතන නවක වදයක් වෙලත් නැත්තන් මම ආචාර්‍යවරුන්ට බැනලත් නැත්තන් ඇයි             මෙයා මගෙන් අයි.ඩී එක ඉල්ලල මාව සස්පෙන්ඩ් කරේ. මන් හිටියෙ සෙනග                         පිටිපස්සෙ. ඒත් මාව හොයාගෙන ඇවිත් අයි.ඩී එක ඉල්ලුවෙ.
ඩීන් සර්: මෙහෙමයි. මතන තනි තනිව එක එක විදිහට සිද්දියට මූණ දීල තිබුනට                                 පොදුවෙ සිද්දිය සලකල තමයි දඬුවම් දීල තියෙන්නෙ.
මම:   පොදුවෙ සිද්දි සලකල මාව සස්පෙන්ඩ් කරන එක හරිද සර්?

ඒ වෙද්දි මට ෆුල් සැටිස්.... ඒ මෙතෙක් වේලා හිතන් හිටියටත් වඩා අපි නිවැරදියි කියල වැටහෙමින් තිබුන වගේම ශිෂ්‍ය සංගමය සහ ජේෂ්ඨයො ගැන සෑහෙන ලොකු ගෞරවයකුත් හිතේ ඇතිවෙමින් තිබුන. මීට කලින් අපි අයියල කොච්චර පරිපාලනයේ වැරදි කිව්වත් 100%ක් පරිපාලනය වැරදි නැතුව ඇති කියල හිතුවෙ. ඒත් මේ සිද්දියත් එක්ක සෑහෙන දුරට ඔවුන්ව පිලිගත හැකි බව තේරුම් ගියා.

සාකච්චාව ඉවර වෙද්දි සති දෙකක් පන්ති තහනම් දෙන්න එකම හෙතුව ආචාර්‍ය්වරුන්ගේ සිත රිදවීම(බැණ වැදීමත් නෙමෙයි). එතෙක් අරමුණක් නැතිව පාවුනු ජීවිතයට අරමුණක් එකතු වුනා. ඒ තමයි මින් ඉදිරියට එක එකාට ඕන විදිහට මූණ බලල සස්පෙන්ඩ් දෙන එක සබරගමුවෙ නතර කිරීම. ඒ වෙනුවෙන් ශිෂ්‍ය සංගමයත් එක්ක එකට වැඩ කරන්න හිතා ගත්ත. ඒත් ඒක කරන්නෙ කොහොමද කියලවත් හරි අදහසක් තිබුනෙ නෑ.

ඊලඟට ඉතිං මොකද උනේ කියල එක එකාට පැහැදිලි කරල විසුමක් නෑ. කොහොම නමුත් පන්ති තහනම සති දෙකෙන් නතර උනේ නෑ. නැවත දැනුම් දෙන තුරු පන්ති තහනම දික් කරල තිබුන.එතනින් පස්සෙ තමයි සස්පෙන්ඩ් ජීවිතේ අපි වෙනස් විදිහකට විඳින්න ගත්තෙ. ආතල් එක වගේම අද්‍යාපනය , දේශපාලනය වගේ දේවලුත් ජීවිත‍යට එකතුකර ගත්තෙ මේ කාලෙ. පන්ති තහනමක් කියන්නෙ පීඩනයකින් විඳවන්න ඕන දෙයක් කියල අපේ උන් අපිට අමතක කරවල තිබුනෙ. කොහොම උනත් වි.විද්‍යාලෙ අභ්‍යන්තර ක්‍රියාකාරකම් හැකි උපරිම අයුරින් කරන්න ශිෂ්‍ය සංගමය උත්සහකරමින් තිබුනා. ඉදිරි පෙල ශිෂ්‍ය නායකයො සියලු දෙනා පන්ති තහනම් වෙලා තිබුනත් ශිෂ්‍ය වීර දින සැමරුම සාර්තකව කරන්නත් පුලුවන් වෙලා තිබුන. අපිට ඇතුලට යන්න බැරි උනාට ෆොටෝ ගහපු එකා මුලින්ම ෆොටෝ ටික පෙන්නුවෙ අපිට.



ඔය දේවල් ඔය විදිහට වෙද්දි පන්ති තහනම ගැන පැරා බැජ් වල හැමෝම දැනගෙන තිබුන. අර කලින් කියපු ඇග්‍රි එකේ ගෑණු ළමය (සුපෙන් හැඟුමන් එපා.. කිව්වෙ) කෝල් එකක් දුන්න. කලින් සාමාන්‍ය සුහද ප්‍රතික්ශේප කිරීමක් උනාට ඒ වෙලාවෙ හෙන දිග කතාවක් කිව්ව. සස්පෙන්ඩ් එක ගැන මට වඩා ඒකි බය වෙලා. බණ කියනව හෝ ගාලා.
පව් ඉතිං මාත් කිසි අව්ලක් නැති ගානට කතා කරා. ආදරය කියන එක විහිලුවක් වගේ හිතුනට මිනිස්සු විදිහට අපිට පවුලෙ බර දරන්න වෙනව කියන එකත් සුරංගනා ආදර කතා වලට වඩා ආදරය අර්ථවත් වෙන්නෙ ඒ විදිහට කියල කෝල් එක ඉවර වෙද්දි බොක්කටම බැහැල තිබුනෙ.

සස්පෙන්ඩ් ජීවිතේ ආතල් වගේම තවත් විහිලුවක් වෙච්ච විනය පරීක්ෂණය ඉස්සරහට..... මතු සම්බන්දයි.











Saturday, April 14, 2018

වෙනසක ඇරඹුම - 10 කොටස

09 කොටස මෙතනින්.

පන්ති තහනම් වල ලියුම අතට හම්බෙන්න කලින් අපේ උන් සෙට් එකක්, කලින් සූදානම් කරපු ආරණ්‍යවාසී හාමුදුරුවන්ට දානයක් දෙන්න කුරුවිටට ගිහින් තිබුන. ලියුම අතට ගත්තු දවසට පහුවදා තමයි වැඩේ සෙට් කරල තිබුනෙ. මාත් ඒකට යන්න හිටියෙ. ඒත් අම්ම හිටපු අසනීප තත්ත්වෙ නිසා අම්ම මේක දැන ගන්න එක අවදානම් කියල මගේ හිත කිව්ව. ඒ නිසා එදා රෑම ලියුම ගෙදරට යෑම වැලැක්වීමේ ක්‍රියාන්විතය සඳහා පිටත් වුනා. ගෙදර ගියේ කොළඹට ගිහින්. සභාපති සහෝදරයගෙ ගෙදර ගිහින් උන්ගෙ අම්මගෙන් ටිකක් විතර බැනුමුත් අහල තව නුගේගොඩ කොල්ලෙක්ගෙ ගෙදරත් ගිහින් තමයි මන් ගෙදර ආවෙ. පලවෙනි ලියුම නම් ඉස්සුව. කෝකටත් නැන්දලට මන් විස්තරේ කියල තිබුන. මොකද කෝල් කරොත් බය වෙන නිසා. අම්ම හිටියෙ ක්වාර්ටස් වල නිසා එහෙට කෝල් කරන්න විදිහක් නෑ. පස්සෙ හෙමීට තාත්තටත් සීන් එක කිව්ව. මීට කලින් කිසිම වැරද්දක් නොතිබුන අහිංසක ළමයෙක් නිසා තාත්ත මගේ කතාව පිලිගත්ත.

Friday, April 6, 2018

වෙනසක ඇරඹුම - 09 කොටස

08 කොටස මෙතනින්.

කොහොම හරි ජීවිතේට අලුත්ම විදිහෙ අත්දැකීම් ටිකක් ලබා දෙමින් වැඩ අදික සුන්දර කාල සමයක් ගෙවෙමින් තිබුන. එක පැත්තකින් අපේ කණ්ඩායමේ වගකීම්, තව පැත්තකින් සොහොන වගේ තිබුන සබරගමුව නිදහස් කරගැනීමේ සටන , ඒ වගේම සබරගමුවට තවත් රන් පුරුකක් එක් කිරීමේ වගකීම. ඊට අමතරව අපේ පුද්ගලික අද්‍යයන කටයුතු වගේම පුංචි පුංචි ආතලුත් නැතුවම නෙමෙයි. ඒ වෙද්දිත් වසර 4ක් තිස්සෙ සරසවි කලා උලෙළ තහනම් කරල තිබුනෙ. ඒ වගේම ශිෂ්‍ය නායකයො 70කට වැඩි පිරිසකගේ අධ්‍යාපන අයිතිය තහනම් කරල තිබුනෙ. ඔය දේවල් නිසා මහ ලොකු දේශපාලන කියවීම් නැති උනත් කොහොම හරි ශිෂ්‍ය සංගමේ දිනාගෙන එලියෙ ඉන්න අයියල ටික ඇතුලට ගන්න ඕනෙ කියල අදහසක් තිබුන.

ඒ ජීවිතේ තීරණාත්මක කාල සමයක්. අද්‍යයන කටයුතු කරන ගමන් සියලු දෙනාම සටනේ ඉදිරි පියවර ගැන හිත හිත හිටපු කාලයක්. ශිෂ්‍ය සංගමේ සභාපති සහෝදරයා කියන දේවල් ඒ වෙද්දි මැජික් වගේ. හිතා ගන්නත් අමාරුයි. අපිට ඔහුව පෙනුනෙ යෝදයෙක් වගේ. ඒ දවස් වල ඉතිං අපි සෑහෙන්න බැනුම් අහනව ක්‍රියාකාරී කමිටුවෙ වැරදි වලට. වි.විද්‍යාලයෙ අනාගතය රැඳී තියෙන්නෙ ජූනියර් කණ්ඩායමේ අනුගත වීම මත කියන අවබෝදය ජේෂ්ඨයන්ට තිබුන. ඒ නිසා පොඩි උන්ගෙ නවක නම්‍යීකරණ වැඩ පිලිවෙලේ පුංචි වැරැද්දක් දැක්කත් සෑහෙන්න බැනුම් ඇහුව. ඒ කාලෙ තිබ්බ භීෂණේ නිසා පොඩි උන් එක්ක කතා කරන්න කලින් ආරක්ෂක උපක්‍රම සෑහෙන්න යොදවනව. දවසක් පොඩි උන් එක්ක කතා කර කර ඉන්න මැසේජ් එකක් එනව වෑන් එකක් එනව කියල. ඔලුව උස්සන්න උනේ නෑ වෑන් එක මැට්ට ලඟ. සෙට් බැස්සෙ නිකන් එස්.ටී.එෆ් බහින්න වගේ. අපේ කට්ටිය අඩු නිසා යොදවල තිබුණු ආරක්ෂාව මදී.

මාෂෙල් ඇවිත් ෆොටෝ ටිකක් ගහ ගත්ත. හෙන සද්දයකුත් දැම්ම. මුලින්ම ටිකක් අපිත් හොල්මන් වෙලා හිටියට ටිකකින් සිද්දිය ෆිල්ම් එකක් වගේ වෙන්න ගත්ත. පොඩි උන් දෙන්නෙක්ව නැගිට්ටල උන්ගෙන් ඇහුව රැග් ක‍රාද කියල. උනුත් සද්දයක් නෑ. එතන ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශක ඇතුලු සියලු මර්දකයන් හිටිය. ඔය අතරෙ අපි සාදාරණයි කියල හිතෙන ආචාර්යවරුන් කිහිපදෙනෙකුත් හිටිය. තත්ත්වය ටිකක් වෙනස් වෙන්නෙ අපේ එකෙක්ව ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශක බලෙන් ඇදගෙන යන්න උත්සහ කිරීමත් සමගයි. කණ්ඩායමට නායකත්වය දුන් සහෝදරය ඒ මොහොතේ කෙලින්ම විරුද්ධ වෙනව. එතන ඉඳන් තමයි වාග් සංග්‍රාමය පටන් ගන්නෙ.
"සර් කොහෙද එයාව ඇදන් ඉන්නෙ. උඹ මෙහෙ හිටපන්" අපේ එකාව ඇදල අපේ පැත්තට ගත්ත. "ඔය ළමයි දැන් ඉක්මනට යන්න." ටිකක් සද්දෙට සර්ල කිව්වෙ පොඩි උන්ට. "එයාලට ඕනෙ නම් යාවි ඕනෙනම් ඉඳීවි. ඒක එයාලගෙ තීරණයක්. කවුරුත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ." ඒ අපේ එවුන්. තත්තවෙ ටික ටික දරුණු වෙනව. ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශක අපේ සභාපති ලඟට ඇවිත් එයාගෙ එයාගෙ සේවා කාලය ගැනයි රටේ නැති පොර ටෝක් ටිකකුයි ඇදල ඇරිය. අපේ උන් ඒ වෙලාවෙ නම් සතේකට ගණන් ගත්තෙ නෑ. ටිකකින් මතක හිටින දෙබසක් ඇහුන.
            සර්: තමුසෙ චන්ඩිද?
            අපේ සභාපති: ඔව්. ඇයි?
ඒ වචන ටික ඇහුනට පස්සෙ නම් මට පන්ති තහනම් ප්‍රමාණය හරියට තේරුම් ගන්න බැරි උනත් ලැබෙනව කියල නම් ශුවර්. සිද්දිය වෙනවත් එක්කම අපි ඒ ගැන ජේෂ්ඨයො දැනුවත් කරා. ඒ වෙද්දි ජේෂ්ඨ කණ්ඩායමේ මහාශිෂ්‍ය සංගම් නියෝජිත අයිය මාස 9ක පන්ති තහනම ඉවර වෙලා කැම්පස් එකට ඇවිත් දවස් දෙකයි(මතක විදිහට). ඔහු ඇතුලු ජෙෂ්ඨ කණ්ඩායමේ පිරිසක් ඉක්මනට මැට්ට කැන්ටිමට ආව. ඔය වෙද්දි පරිපාලනය අපෙන් ශිෂ්‍ය හැඳුනුම්පත් ඉල්ලුවත් අපි දුන්නෙ නෑ. ඉස්සරහම හිටපු කීපදෙනෙකුගෙන්ම හැඳුනුම්පත් ඉල්ලුවත් දුන්නෙ නෑ. ඒත් අ‍යියල ආපු ගමන් මහා ශිෂ්‍ය සංගමේ අයිය හැඳුනුම්පතත් එලියට අරගෙන " මේ මගේ අයි.ඩී එක. ඔයාල ආවෙ සස්පෙන්ඩ් කරන්න නම් සස්පෙන්ඩ් කරන්න." . "මල්ලි මුන්ට කරන්න පුලුවනුත් එච්චරයි". සංවාදෙ සෑහෙන්න දරුණු උනා. ඔයා අතරෙ පිරිස අතරෙන් රින්ගල ආපු මාශෙල් මගෙනුත් අයි.ඩී එක ඉල්ලුව. මම දුන්නෙ නෑ. ඒ වෙද්දි සියල්ල පැහැදිලි වෙමින් තිබුනෙ. ඒ කියන්නෙ පන්ති තහනමකට හිත හදාගන්න වෙනව කියල. ඔය අතරෙ දිරවන්නෙම නැති ආචාර්‍ය්වරයෙක් හෙන ආවෙගශීලී විදිහට කියව කියව හිටිය. අපේ එකෙක් "ඇයි සර් ඔච්චර ආවේගශීලී? ඔහොම ආවේගශීලී වුනහම කැතයි නේද?" . එච්චරයි මිනිහ නෝන්ඩිම වෙලා ගියා. ඒ අතරෙ සමහර ආචාර්‍යවරු ඇත්තටම අපට කතා කරල "පුතා ඔයාල මෙතන රැඳෙන්නෙ නැතුව යන්න. දැනට ප්‍රශ්නයක් නෑ, ප්‍රශ්න ඇතිකරගන්නත් එපා" කියලත් කිව්ව. කොහොම උනත් ජේෂ්ඨයො මැදිහත් වීමත් එක්ක තත්වය සාමාන්‍යය අතට හැරුන. අපි එතනින් ඉවත් වුනා. එදා රෑ 8ට පටන් ගත්තු ඇක්ශන් මීටින් එක පාන්දර 6 වෙනකන් තිබුන. වැඩිපුර අයියලගෙ බැනුම්. කොහොම හරි ආයෙ පස්සෙන්ද පොඩි උන් එක්ක කතා කරන්න යන කොට පනිවිඩයක් එනව අපේ උ දෙන්නෙක්ට ඩීන් ඔෆිස් එකට එන්න කියල. අපිත් ගියා මොකද බලන්න. ෆැකල්ටි එකට යනකොට සස්පෙන්ඩ ලියුම් තියෙනව "ගුණසේකර" කියල නමකුත් තියෙනව කියල කිව්ව. හරි ඉතිං මන් හිත හදා ගත්ත. ගිහින් බැලුවහම "නවක වදය ලබාදීම හේතුවෙන් සති දෙකක තාවකාලික පන්ති තහනමක්". ලියුමත් අරන් ආව. බැජ් එකට කතා කරල. අපෙ බඩුත් පැක් කරගෙන යන්න සෙට් උනා. ගෙවල් වලට යන ලියුම් ටික උස්සන අරමුනින්.

මතු සම්බන්දයි.