Saturday, October 28, 2017

‌Minisage Sambawaya


                                                                     මිනිසාගේ සම්භවය

දෙවියන් වහන්සේ විසින් මිනිසා මැවූ බවත් ජීවන හුස්ම පිඹ ප්‍රාණය ලබා දුන් බවත් ඉතිහාසයේ විවිද ආගම් වල පොත පතෙහි සඳහන් වෙයි. මේ අයුරින් ජීවයේ සම්භවය, මිනිසාගේ  සම්භවය පිළිබඳ ගැටලුව වසර දහස් ගණනක් තිස්සේ සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් වඩා නිවැරදි හා මැවුම් වාදයට එරෙහි මතයක් පළමුවරට ඉදිරිපත් කළේ ප්‍රංශ  ජාතික ලමාර්ක්(1744-1829) විසිනි. "සත්ව විද්‍යාවේ දර්ශනවාදය"(1809) නමින් පොතක් පළ කළ ඔහු සත්ත්ව සංහතිය සහ පැළෑටි ලෝකයේ පරිණාමය ඔප්පු කරමින් කරුණු පෙන්වීමට සමත් විය. එහෙත් එම අවධියේදී සොබාදහම තුළ ජීවීන්ගේ පරිනාමය ගැන හෝ මිනිසාගේ ස්වභාවික සම්භවය ගැන හෝ සෑහෙන සාදධක නොතිබුණි.



නමුත් ඉන්පසුව චාල්ස් ඩාවින් විසින් කෘතිම වරණය මූලධර්මය යටතේ ප්‍රකුර්තියේ සත්ව හා පැළෑටි විශේෂ පරිවර්තනය වන බවත් එය නොකැඩෙන සේ වෙනස් වීම් සහ ආවේණිය සමඟ බැඳී ඇති බවත් පෙන්වීම් නිසා පෙර පැවති විශේෂයන්ගේ ස්ථාවර භාවය පිළිබඳ මතය සුන් වී ගියේය. ඩාවින්ගේ නියාය අනුව මිනිසා ඇතිවීමේ ප්‍රධාන සාධක වූයේ විකෘතිය, පැවැත්ම සඳහා සටන, ස්වභාවික හා ලිංගික වරණය, ආවේණිය හා පරිසරයේ බලපෑම්ය. මිනිසාගේ වර්ධනයේදී ජීව විද්‍යාත්මක කරුණු පමණක් නොව සමාජ විද්‍යාත්මක කරුණු ද බලපෑ බැවින් මානව විද්‍යාවේ සම්පූර්ණ ක්‍රියාදාමය විස්තර කිරීම්ට නොහැකි විය.



පසුව මාක්ස්වාදයේ නිර්මාතෘවරුන් වන එංගල්ස් විසින් මිනිසාගේ සම්භවයට  ශ්‍රමය ඉටුකල කාර්ය පිළිබඳව "සොබාදහමේ දයලෙක්තිකය" පොතට කරුණු ඇතුළත් කර ඇත. එංගල්ස්ගේ මතය අනුව සෘජු ගමන වානරයා මිනිසා බවට පත්වීමේ තීරණාත්මක පියවර විය. "ගස් නැගීමේ දී අත් වලට හා පා වලට විවිධ කාර්යයන් පැවරේ. ඔවුන්ගේ ජීවන රටාව හේතු කොටගෙන සමතලා බිම් වල සංචාරණය කිරීමට සිදුවූවිට මෙම වානරයෝ ඇවිදීමේදී සියම අත් භාවිතය ක්‍රමයෙන් ඈත් වූ අතර වඩ වඩාත් සෘජු ඉරියව්වක් යොදා ගත්හ." (සොබාදහමේ දයලෙක්තිකය පි.277)



මොළයේ සංවර්ධනයය ගැන එංගල්ස් මෙසේ ලීවේය. ප්‍රථමයෙන් ශ්‍රමය ද ඉන් අනතුරුව සහ එයත් සමග කතාව ද යන මේ දෙකෙහි උත්තේජනය යටතේ වානරයාගේ මොළය ක්‍රමයෙන් මිනිස් මොළය දක්වා පරිවර්තනයය වූ අතර මිනිස් මොලය වානරයාගේ මොළයට වඩා විශාල වී අංගසම්පූර්ණ බවට පත්විය. මොලය වර්ධනය වීමත් සමඟම එහි ඉතාමත් සමීපතම උපකරණ වන සංවේදී ඉන්ද්‍රියන් වර්ධනය විය. කතාවේ ක්‍රමානුකූල වර්ධනයත් සමඟම ඊට අනුරූපව ශ්‍රවණ ඉන්ද්‍රියන් සියුම් වීම සිදු වූවාක් මෙන් සමස්තයක් වශයෙන් මොළයේ වර්ධනය වීමත් සමඟම සියලුම ඉන්ද්‍රියන් සියුම් වීමක් සිදුවේ.(ස්භාදහමේ දයලෙක්තිකය 282-283)

එමෙන්ම  සෘජු ගමන් විලාසයක් ඇති වානරයාගේ අත නිදහස් වීමත් සමග එය විවිද ක්‍රියා වලට යොදා ගැනීම කැපී පෙනෙන කාරණයක් ලෙස දැක්විය හැක. මිනිසාගේ අතේ මහපට ඇඟිල්ල අනෙක් ඇඟිලි වලට විරුද්ධව ස්වාධීනව ඇති නිසා යම් දෙයක් ග්‍රහණය කර ගැනීමට හා හැසිරවීමට හැකි වී තිබේ. මුල් කාලයේ දඩයම සඳහා ආයුධ හසුරුවා ගත්තේ ද අද වන විට විශිෂ්ට මූර්ති, චිත්‍ර නිර්මාණ එළි දකින්නේ ද මෙම සුවිශේෂී ලක්ෂණය නිසාවෙනි.

 මිනිසාගේ පරිණාමය සමග ශ්‍රමය භාවිතා වූ ආකාරය හා ගෝත්‍ර,  පවුල් ගොඩන නැගීම වැනි කාරණා පිළිබඳව ඉදිරියේදි කතා කරමු.




 ජ.වි.පෙ අධ්‍යාපන අංශයේ  "විමර්ශන" තොරතුරු මාසිකයේ කරුණු ඇසුරෙනි.

No comments:

Post a Comment