Sunday, December 31, 2017

වෙනසක ඇරඹුම- 2 කොටස



පලමු කොටස මගහැරුනු අය මේකෙන් බලන්න.

දැන් ඉතිං කැම්පස් ගියපු මුල්ම දවස.. කැම්පස් කිව්වට හොස්ටල් එකට. දන්නවනෙ ඉතිං මුල්ම දවස් වල තියෙන දැවෙන ප්‍රශ්නය "නවක වදය" එහෙමත් නැත්තන් "රැග් එක". කොල්ලො එකා දෙන්න දැන් හොස්ටල් එකට ආව. රට වටෙන්ම ආපු උන්නෙ. ඉතිං විස්තර කතා කරනව. සමහරුන්ව කලින් අදුවරනව අර නායකත්ව පුහුණුව නිසා. වැඩි පුරම කතා කරේ රැග් එක ගැන තමයි. කෑම්ප් එකේදි එස්.බී. මාමත් කිව්වනෙ නවක වදය ලබා දීම නිසා සබරගමුවෙ පස් දෙනෙකුගෙ ශිෂ්‍යභාවය අහෝසි කරා කියල.. ඔය අතරෙ හොස්ටල් එකට ආව සුපිරි ඩයල් එකක්. මෑන් වට දෙක තුනක් හොස්ටල් එක වටේ කැරකුනා. හොස්ටල් එක තියෙන්නෙ පොඩි බෑවුමක. දැන් අපි ඉස්සරහට එන දවස් වල සින්නො මොනව කරාවිද කියල බර සාකච්චාවක. ඔය අතරෙදි අර ඩයල් එක ඇවිල්ල ලගින් වාඩි වෙලා ඇහුව "මචන් හොස්ටල් එක නාය යාවිද දන්නෑ නෙහ්?".. හම්මෝ ඉතිං සෑහෙන්න වෙලාවක් කොල්ලො බඩ අල්ලන් හිනා වුනා. අපි මේ සින්නොයි රැගයි ගැන කතා කර කර ඉන්නව මූ ආතල් දෙනව. කියන්න සන්තෝසයි සහෝදරවරුනි එහෙම පටන්ගත්තු ආතල් දීම ඌ තාමත් දෙනව.


ඔන්න ඉතිං අපි පලවෙනි දවසට ලෙක්චර් යන්නත් පටන් ගත්ත. ලොක්ක තමයි මූලික වෙලා නායකත්වය අරගෙන මුලින්ම ගේම අරගෙන ගියෙ, ලොක්ක ගැන ඉස්සරහට කියන්නම්. ඊට කලින් මතක විදිහට කලින් දවසෙ රෑ මාර්ෂල් සර්(මුල් දවස් ටිකේ හැමෝම සර් කිව්වට පස්සෙ ඌව බලු ගනන් ගන්නෑ) ඇවිත් විස්තර බලල ගියා. එදා ලෙක්චර් ඉවර වෙලා අපි එන්න හදනකොට තමයි අයියල වගයක් අපිට මුලින්ම ආමන්ත්‍රණය කරේ. අපේ සෙට් එකේ හිටිය ටිකක් කොට ඩයල් එකක්(මට වඩා චූට්ටක් උසයි). පොරට තමයි මුලින්ම ඇමතුවෙ. අයියලට එතකොට එක්සෑම්.. දෙන්නෙක් යන ගමන් අපේ එකාව දැකල " ආ උඹ බෙකම් ගහල නේද? වරෙන්කො උකෝල ගන්න". සින්නො දෙන්න කියගෙන ගියා මිසක් නැවතුනේවත් නෑ. අපිට ඉතිං ඒ ඇති. අරූව බයිට් කරනව හෝ ගාල. හොස්ටල් යන්න කලින් උගෙ රැග් සීසන් එකම මවල පෙන්නුව අපේ උන් කතා වලින්.

ඔහොම ටික දවසක් යනකොට සහෝදරියො ටිකත් ටික ටික ෆිට් උනා. ඒත් ලෙක්චර් යනව එනව විතරයි මෙලෝ රහක් නෑ. අඩුගානෙ සින්නෙක්වත් පේන්න නෑ, එපා වෙලා හිටියෙ. ඔන්න දවසක් හවස නිකමට වගේ යෝජනාවක් ආව සෙට් වෙමුද කියල. සින්නොන්ට මාට්ටු වෙයිද? අරකද මේකද දාහක් ප්‍රශ්න ආවත් අභියෝග වලට මූහුනදෙන විදිය අපි එදා ඉදල ඉගෙන ගෙන තිබුන නිසා නමෝවිත්තියෙන් බෝතල් ටිකත් රෑ වෙන්න කලින් හොස්ටල් එකට ආව. රෑ නවයට පටන් ගත්තු බජව්ව පාන්දර තුන විතර වෙනකන් ගිහින්.. "ජයසූරිය" හොස්ටල් එකෙන් යනකොට බෝතල් පෝරබෑග් පිටින් අයින් කරන්න උනා කියල හිටපු සබ්වෝඩන් කිව්වට බොරු වෙන්න ඇති මයෙ හිතේ. ඔහොම බීල විදගත්තු අවස්තාවකුත් තියෙනව ඒක ඉස්සරහට කියන්නම්කො.


ඔන්න දවසක් ලෙක්ච‍ර් ඉවරවෙලා කැන්ටිමට කට්ටියත් එක්ක කන්න යනව. අතරින් පතර අපි දැක්ක කට්ටිය අපේ දිහා බලන් ඉන්නව. කෑමක් සෙට් වෙනව කියල ඉවෙන් වගේ තේරුනා.කෑමත් අරන් කන්න වාඩි උනා. මොන කෑමක්ද... සෙට් එකක් බැස්ස. ලග තියෙන පුටු වලින් වාඩි වුනා. අපි ඉතිං පූස් පැටවු වගේ. "උබේ නම මොකක්ද? ගම කොහෙද? එහා පැත්තෙ එකා කොහෙද?" ප්‍රශ්න කෝටියයි. මගෙන් තාම මුකුත් ඇහුවෙ නෑ. එකම තුරුම්පුව කෑම. මම කනව හැටේ වෙගෙන් කට හිස් වෙන්න දෙන්නෙම නෑ. මැණික් ගල් දෙක තුනකුත් හැපුන. ඒත් වැඩේ අතෑරියෙ නෑ. පස්සෙ ලස්සන අක්ක කෙනෙක් ලගින් වාඩි උනා. මන් හිතුව දැන්වත් නිවීහැනිහිල්ලෙ ඉන්න පුලුවන් වෙයි කියල. ඒක ඔක්කොටම හපන්. "හෙමින් කාපන් හිර වෙයි.. වව් වව් වව්.. බ්ල බ්ලා බ්ලා". බණකුත් කිව්ව ම්ෘදු ස්වරයෙන්. කෙල ගිලින්නත් අමතක උනා. කරිජ්ජ පාගපු අපි කෙල්ලො කුණුහර්ප කියනව අහල තිබුනට කුණුහර්ප නොවන විදිහට බනින කොට (ඒකත් පොඩි තෙලක් එක්ක) අමුතු මෙව්ව එකක් තිබුන.ටිකක් අමතල, හැමෝගෙම නම් ගම් මතක තියාගන්න ඕනෙ කියල ආදරෙන් කියල ජේෂ්ඨයො යන්න ගියා. අනාගතේ ගැන සුන්දර සිහින මවමින් අපිත් නේවාසිකාගාර බලා පිටත් වුනා.

දවසෙම මාත්ෘකාව අර අක්ක..
ආයෙ ලෙක්චර් ගියපු හැටි ඊලග කොටසින්.. මතු සම්බන්දයි.











Thursday, December 28, 2017

වෙනසක ඇරඹුම- 01 කොටස

                                                          වෙනසක ඇරඹුම.

ඊයෙ උසස් පෙල ප්‍රතිඵල නිකුත් වීමත් එක්ක මගේ චූටි මල්ලි උසස් විදිහට සමත් වීමත් ඊට පස්සෙ ඌත් එක්ක පරණ දේවල් මතක් කරමින් කෙරුනු පුංචි කතා බහත් නිසා මේ ටික ලියන්න හිතුන.



ඒ මීට අවුරුදු 6කට පමණ පෙර උ.පෙ. ප්‍රතිඵල නිකුත් වූ දිනය. එනව කිව්ව නිසා බලන් හිටියට ඒ මගුල එන්නෙත් නෑ.. "අම්මෙ මන් නිදාගන්නව" කියල මන් ගියා ඇදට. ටික වෙලාවකින් අඩ නින්දෙ ඉන්නකොට පොඩි එකා(චූටි මල්ලි) ඇවිත් මාව ඇහැරුව ‍රිසල්ට්ස් ඇවිල්ල කියල. කම්මැලිකමේ චුට්ටක් බයෙනුත් එක්ක මාත් ගිහින් කොම්පියුටරේ ඔන් කරල රිසල්ට්ස් බලන්න ගත්ත. මෙන්න යකෝ විභාගෙ පාස්. හිතුව වගේම හොද ප්‍රතිඵලයකුත් තියෙනව.(දැන් චුට්ටගෙ ප්‍රතිඵල තර්ම් නම් නෑ.) චූටි මල්ලි ගත්තු කටටම කිව්වෙ "අයියෙ තාත්තගෙ මූණ බලන්න තමයි ඕනෙ" කියල. තාත්ත හැමදාම පාඩම් කරන්න කියල කෑ ගහනවනෙ. කොහෙද ඉතිං ඒක ඇහුනම් පාඩම් කර කර හිටියත් මන් නැගිටල යනව(චුට්ට මට හපන්. ඌට පොඩ්ඩ ඇත්තන් මල පනිනවනෙ). කොහොම හරි ඒ වෙලාවෙ තාත්ත හිටියෙ නෑ ගෙදර.. ඒ නිසා මටයි මල්ලිටයි ඒ ආතල් එක මිස් උනා. ඒත් අම්ම හිටිය සාලෙ. ඉතිං මන් හෙන ආඩම්බ‍රෙන් කිව්ව "අම්මෙ ‍රිසල්ට්ස් බැලුව. මේ පාර ගොඩ" කියල රිලස්ට්ස් එකත් කිව්ව. මන් හිතුවෙ අම්ම මාව බදාගෙන ඉඹල රටේ නැති කතන්දර ටිකක් කියල සුභ පතාවි කියල. කියන්න කණගාටුයි සහෝදරවරුනි අම්මා කිව්වෙ " ලොකූ............................ විභාග අංකෙ හරිද කියල ආයෙ චෙක් කරන්න කියල..". අනේ ඉතිං මට නේද බඩ කපාගන්න හිතුන.

කොහොමින් කොහොම හරි ප්‍රතිඵල හොද උනාට Z ස්කෝර් එකේ අවුලක් තිබුනනෙ. ඒ මගුලට පිං සිද්ධ වෙන්න කැම්පස් යන්න කලින්ම අපි උද්ගෝශන වලටයි නඩු වලටයි ගියා. කොහොම හරි නඩුවත් දිනුව. සබරගමුවට තේරුනා කියල දැනගත්තම ඉතිං මල් හතයි. අපිට ඉතිං තිබුනෙ ටියුෂන් සර්ල මවපු කැම්පස් ආතල් එක ගන්න මිසක් වෙන එකක් නෙමෙයිනෙ. ඇයි ඉතිං කිව්වෙ යන හැමෝම ඩිග්‍රි එක ගන්නව කියලනෙ.

කැම්පස් යන්න කලින් ආවනෙ නායකත්ව පුහුණුව කියල එකක්. ඒක හැදුවෙ නවක වදය නවත්තන්නලු. සීනියර්ස්ලට තියෙන බය නැති කරන්නලු. හමුදාව ලෙෆ් රයිට් කිව්වම කකුල් උස්සාව වගේ කමාන්ඩ් වලට අපිවත් හුරු කරන්නලු. පවු අහින්සක උත්සහයක්. එස්.බී මාමි මොක උනත් ඒකට හොද බොටම් දෙකක් දුන්න. වැදගත් කියල තිබුනෙ එච්චරයි මතක විදිහට. හැබැයි ලන්කාවෙම කැම්පස් වල උන් ටිකක් අදුරගත්ත. ඒ ෆිට් එක අදටත් තියෙනව. පුංචි සිද්දියක් තියෙනව අමතක නොවෙන. ඒකත් නොලිව්වොත් මදිපාඩුවක් වෙනව. කිලිනොච්චියෙ දෙමළ සහෝදරයෙක් අපිත් එක්ක හොදට ෆිට් උනා. හොදට විනෝදෙන් හිටපු කොල්ලෙක්. දවසක් තිබුන නීතිය ගැන ලෙක්චර් එකක්. ඕක ඉවර උනහම ප්‍රශ්න අහන්න අවස්තාවක් දුන්න. අර සහෝදරය ඇහුව "නීතිය සාදාරණද?" කියල. දේශනය දීපු කපිතාන් සරල විදිහට කිව්ව "ඔව්" කියල. ඔය කාලෙ තමයි අග විනිසුරුතුමිය ශ්‍රියානි බණ්ඩාරනයකව මහින්ද රාජපක්ෂ අයින් කරේ. ඉතිං අපේ එකා ඇහුව "නීතියේ ඉහලින්ම ඉන්නෙ අග විනිසුරු. දේශපාලන පක්ෂයක නායකයෙක්ට අග විනිසුරුතුමියව ඉවත් කරන්න පුලුවන් නම් නීතිය කොහොමද සාදාරණ වෙන්නෙ කියල?" ඇඩ්‍ර්ස් නෑ කට්ටි‍යට. කැප්ටන් උඩ බිම බලනව. පස්සෙ ලොක්ක හිටපු මේජර් ඇවිත් මයික් එක අරන් කිව්ව "අපිට උත්තර දෙන්න පුලුවන් සීමාවක් තියෙනව. එතනින් එහාට ප්‍රශ්න අහන්න එපා" කියල ටිකක් සද්දෙට කියල යන්න ගියා. එස්.බී මාමා ඇවිල්ල බොරු ටිකකුත් කියල ගියා. අපිට ප්‍රශ්න අහන්න මයික් එක දුන්නෙ නෑ. පොඩි හූවක් එහෙම තියල ආව. කාල බීල ආතල් එකක් නම් ගත්ත.

කැම්පස් එකටත් ගියා කියමුකො. ඒ දවස් වල හෙන හුලං. මුලින්ම ගියේ "ජයසූරිය" හොස්ටල් එකට....

මෙතන ඉදන් තම‍යි හොද හොද කතා තියෙන්නෙ. දැනට මතු සම්බන්දයි.



Monday, November 27, 2017

2015 janawari saha 2018 janawari


                                          2015  ජනවාරි සහ 2018 ජනවාරි

පසුගිය 2015 ජනවාරි මස 8වන දින ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරදවා යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තේරී පත්වුණි.  එදා යුද ජයග්‍රණය තම බූදලයක් කරගන්නට  උත්සාහ දැරූ මහින්ද රාජපක්ෂ පරදවා මෛත්‍රී ජනාදිපති කරවූයේ මහින්දගේ මර්දනකාරී ඒකාදිපති  සහ දූෂණ වංචා සහිත අර්සාථක පාලනය අවසන් කල යුතු නිසාත් මෛත්‍රී සිය ප්‍රචාරණ කටයුතු වලට යොදාගත් යහපාලනය යන වචනය නිසාත්ය. නොඑසේනම් මෛත්‍රී ජනාදිපති කරවීමේ අවශ්‍යතාවයක් නොවීය. වසර 3ක් අවසානයේ නැවත වරක් ජනතා පරමාදිපත්‍ය උරගා බැලීමේ අවස්තාවක් උදා වීමට නියමිතය. ඉතිං අපි පසු විපරමක් කරමු. පසු ගිය වසර 3 තුල යහපාලනය සාර්ථකද?

එදා දීවර ඇන්තනී , කටුනායක රොශේන් චානක, අන්තරේ ජනක සිසිත, රතුපස්වල ජලය ඉල්ලු ජනතාව ඝාතනය කල මහින්ද පැරදවීමට මෛත්‍රී යොදාගත්තේද එම මර්දනයයි. "ආයෙ ආයෙ නොම ඉවසන්" යනුවෙන් පුවත් පත් වල ප්‍රචාරය කලේ එම මර්දන චායරූපයි. නමුත් යහපාලන ආණ්ඩුවද සයිටම් අරගලයේදී මෙන්ම තෙල් සේවකයන්ගේ අරගයේදීත් තවත් අවස්තා ගණනකදීම පැරණි මර්දන උපකරණ පෙරටත් වඩා සංවිදානාත්මක ලෙස යොදාගැනුණි. රාජ්‍ය මාද්‍ය නිර්ලජ්ජිත ලෙස ආණ්ඩුවේ හොරණෑව ලෙස භාවිතා කීරීමත් යහපාලන ආණ්ඩුවද පෙර ලෙසම සිදු කරමින් පවතී.විශේෂයෙන්ම මහබැංකු වංචාව හෙලිවීමත් සමග තවදුරටත් දූෂන වංචා අතින්ද මහින්දගේ දූෂිත ආණ්ඩුව මේන්ම යහපාලන ආණ්ඩුවද වංචාකාරී ආණ්ඩුවක් බව ඔප්පු වී හමාරය.

එසේනම් තීරණාත්ම කඩයිමක් පසු කල 2015 ජනවාරිය මෙන්ම 2018 ජනවාරියද ජනතාව තුල බරපතකල වගකීමක් තබා ඇත. පුංචි චන්දය උවත් වටිනාකම වැඩි වන්නේ මේ නිසාය. ඔලු ගෙඩි මාරුවක් වෙනුවට ක්‍රමවේදයේ පූර්ණ වෙනසක් ජනතාව බලාපොරොත්තු වේ. මෛත්‍රී චන්දය කල් දැමීමට උත්සහා දරන්නේද මේ වෙනස ඔවුන්ට සහ දනේෂ්වර පාලකයන්ට කිසිසේත් වාසි සහගත නොවන නිසාය. නමුත් සටමන් කරන වමේ බලවේග හමුවේ එය තව දුරටත් නිශ්ඵල ක්‍රියාවකි. දූෂණ වංචාවලින් තොර සාදාරණ සමාජයක් වෙනුවෙන් වෙනස් වන්නට වෙනස් කරන්නට අපේ වටිනා චන්දය පාවිච්චි කරමු.

Sunday, November 19, 2017

Awasan thurumpuwa jathiwadayad?

                                                අවසන් තුරුම්පුව ජාතිවාදයද?

පසුගිය දිනෙක ගිංතොට ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන් තත්ත්වයත් කාලයක සිට මතුවෙමින් යටයමින් නමුත් විසදුමක් නොවූ ජාතික ගැටලුවත් නිසා මෙම සටහන ලියන්නට සිත වද දුනි. තිස් වසරක යුද්දයේ අදුරු මතකය සති දෙකකින් සියල්ල අමතක වන අපිට මතක නැතුවා සේය. එසේ නොවේ නම් අදේශපාලනික මෝඩ කමය. රුසියානු ජනපති මුස්ලිම්වරු සියල්ල වනසා දමන බවට පාරම් බෑවිට එයට හුරේ දමන අපේ ජාතික බුකී "වීරයන්ගෙන්" මීට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැක. අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්ත සංවිධාන වලට ආයුධ සපයන්නේද රුසියාව වැනි රටවල් වලින් බව ඔවුන් නොදනී.

ලංකාව දෙසට හැරෙමු. 56 බණ්ඩාරනායකගේ සිංහල භාෂා පනතත්, බණ්ඩාරණායක චෙල්වනාගම් ගිවිසුම් තුලින් බලය පවත්වා ගැනීමට දැරූ උත්සාහයේ සහ තවත් එවැනි ජාතිවාදී ක්‍රියා නිසා තිස් වසරක යුද්ධයක් රටට හිමි විය(සිංහල ජාතිවාදය උපරිමයට භාවිත කරමින් බණ්ඩාරනායක බලයට පත්වන අතර දෙමළ ජාතිවාදය භාවිත කරමින් චෙල්වනායගම් බලයට පත් වුවද බලය පවත්වාගෙන යාමට නැවත ඔවුන් ගිවිසුම් ගත විය). එම උනුසුම මැකී යන්නත් මත්තෙන් නැවත වරක් රට යුද්දයකට තල්ලු කිරීමට වලිකන පිරිසක් සිටින බවට රටක් ලෙස අප තීරුම් ගත යුතුය. යුද්ධය ධනේෂ්වර පාලකයන්ට නිතරම හිගන්නාට තුවාලය වැනිය.ඉතිහාසය පුරාවට ඔවුන් එය ආයුදයක් කර ගැනුනි. රණවිරුවණ් ජීවිත පරිත්‍යාග කර රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීම ජඩ දේශපාලුවන් විසින් තවමත් විකුණාගෙන කයි. ගින්තොට සිද්දිය පවා හුදෙක් දෙපිරිසක් අතර ගැටුමක් බවත් එය ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය කරනු ලැබ ඇත්තේ ජඩ දේශපාලුවන් සහ අන්තවාදී සංවිධාන විසින් බව තොරතුරු හෙලිවෙවින් පවතී. අප කාතුලත් දුවන්නේ රතු පැහැති මනුස්ස ලේය. එය ජාතිකත්ව අනුව බෙදා වෙන්කිරීමට තැත්කිරීම කිසිසේත්ම මිනිස් කමට උචිත ක්‍රියාවක් නොවේ.

එමෙන්ම මෙම ගැටුම පිලිබද අසත්‍ය තොරතුරු සහ ජනතාව කුපිත කරවන සුලු පුවත් රැසක් සමාජ ජාලා වෙබ් අඩවි වල ප්‍රචාරය විය. මෙවැනි දේ පාලනයට රජයකට පැහැදිලි වගකීමක් ඇත. ලියුම් කරු විස්වාස කරන පරිදි මෙවැනි අවස්තාවකදී, තොරතුරු හරි හෝ වැරදි හෝ ප්‍රචාරය වීම වැලැක්වීම ඉතා අපහසුය. තොරතුරු දැන ගැනීමේ අයිතියද ජනතාවට ලබාදී ඇති අවදියක රජය මැදිහත් වී හැකි ඉක්මනින් සත්‍ය තොරතුරු නිසි අයුරින් සමාජ ගතකරන්නේ නම් අසත්‍ය තොරතුරු වලින් ජනතාව මුලා වීම වලක්වාගත හැක. නමුත් ධනේෂ්වර පාලකයන්ට එවැනි අවශ්‍යතාවයක් ඇත්ද යන්න සැක සහිතය.
ප්‍රශ්න කල යුතු සහ සිතා බැලිය යුතු තවත් කරුණක් තිබේ. සිංහලේ, බොදු බලේ වැනි අන්තවාදී සිංහල සංවිධාන වලට දකුණේ වාමාංශික සංවිධාන සහ ප්‍රගතිශීලී ජනතා බලවේග තුලින් දැවැන්ත විරෝධයක් එල්ල වූවද මුස්ලිම් අන්තවාදී සංවිදාන වලට සැලකිය යුතු විරෝධයක් සංවිදානාතමක ලෙස එල්ල වෙනවා අඩුය. මුස්ලිම් අන්තවාදයට පිලිතුර සිංහල අන්තවාදය නොවන බව තරයේ විස්වාස කරන අතර නීතිය රටේ සැමට සාධාරණ විය යුතු බවද තරයේ විස්වාස කරමි(නීතිය පාලකයාගේ කැමැත්ත බව නොදැන නොවේ). මාර්ග නීති කාටත් පොදුය. ළමා විවාහ තහනම් විය යුතුය. මේ කිහිපයක් පමණි. මේවාට ප්‍රතිවිරෝධය ඇති විය යුත්තේ එම ජන කොටස් වලින්මය. ඒ සදහා ඔවුන් ලෝකයට විවර කිරීම සියලුදෙනාගේ වගකීමයි. එන්න අපි සියල්ලන්ටම මනුශ්‍යත්වයේ දෑත් දිගු කරමු. ධනේෂ්වර උගුල් වලට හසු නොවෙමු. ජනතාවට නොව ධනේෂ්වර ජාතිවාදී පාලකයන්ට එරෙහි වෙමු. ජාතිවාදයට තිත තබමු. ජය!!!

Saturday, November 11, 2017

Kubiyo wamata pahara gasuwada? wama keniththuwad?

                                       කූඹියෝ වමට පහර ගැස්සුවාද නැතිනම් වම කෙනිත්තුවාද?

ලාංකීය ටෙලිවිෂන් කලාවේ හැරවුම් ලක්ෂයක් බවටට කූඹියෝ පත්ව ඇති බව   අවිවාදිත කරුණකි.  එහි ඇති දේශ දේශපාලනය සම්පූර්ණයෙන්ම අමතක කලත් තිර රචනය සහ රඟපෑමේ අති දක්ෂ බවත් නිසා දේශපාලනය හරි හැටි තේරුම් නොගත් අයෙකුට වුවත් කතාව රස විඳිය හැකි. නමුත් මේ ලිපියෙන් උත්සාහ කරන්නේ එහි දේශපාලනය යම් තරමකට මතු කිරීමටයි.



  කතාවේ ආරම්භයට යමු. පළමුව ජෙහාන්ට හිරුනිව බස් රථයේ හමු වී පසුව ප්‍රියන්‍ත සමග මුලින්ම බලසයෙන් බැස නවාතැන කරා ඇවිදයන මොහොතේ දෙබස් දෙස අවදානය යොමුකලහොත් එහිදී ප්‍රියන්ත නිතරම "මහත්තයා" යනුවෙන් ආමන්ත්‍රණය කිරීම නිසා "මෙහෙ මහත්තුරු නෑ. අයියෙ කියපන්" යනුවෙන් පැවසීම තුල සේවකයාට වඩා ඔහුව සහෝදරයෙකු ලෙස දැනෙන්නට සැලැස්වීමම සාමන්‍ය ක්‍රමයට වඩා වෙනස් දේශපාලනික හැඩයකි. (ආයතනයක හිමිකරු "බොස්"ගේ ජවනිකාවෙන් මිදී නායකයෙකු ලෙස කණ්ඩායම සමග එකට වැඩ කරයි නම් එය වඩා සාර්ථක හා යහපත් ක්‍රමයක් බව ලියුම්කරුද අත්දැකීමෙන්ම දනී.) එතැන් සිට කතාව වාමාංශික දේශපාලන හැඩයක් ගනී.

ඉන්පසු "Purchasing lanka" ආයතනය පාරීබෝගික සේවා වැටලීම් අංශයේ වැටලීමට ලක්වන අවස්ථාව මත්කයට නංවා ගමු. මෙම අවස්ථාවේදී ජෙහාන් සහ ප්‍රියන්ත වාහනයට නංවාගෙන රැගෙන යන අතරමගදී සිදුවන කතාවේ ජෙහාන්ගේ කඩුපහරවල් වැනි දෙබස්.."ඔය කුරුඳුවත්තෙ පොමනේරියන් බැල්ලියෝ දන්නව නම් ගමේ එකාව පාවල දෙන්නෙ ගමේම එකෙක් කියල උන්ට ලැජ්ජ හිතෙයි නේද?... සැබැවින්ම ලැජ්ජා විය යුත්තේ කවුද යන වග ්‍රේක්ෂකයාට තේරුම් ගන්නට ඉඩ හරියි. "පීඩිතයාගේ පිටට පිහියෙන් අනින්නේ ඔහුගේ ම පන්තියේ එකෙක් සර්.  හැබැයි ඔය ගමේ කොල්ලන්ගේ එකක් තියෙන්නෙ කවදාවත් ගමේ කොල්ලෙක් පාවල දෙන්නෙ නෑ ඔය පලවෙනි පන්තියේ උද්දච්ච හැත්තට".  මෙහිදීත් පංතීන් වෙන්කිරීම තුල වාමාංශික හැඩය ඉස්මතු කරයි. තවද  අංජනාගේ සැමියාට වෙනත් සම්බන්ධතායක් ඇතැයි සැක කර ඒ ගැන සොයා බලන්නට ජෙහාන්ට භාරදුන් අවස්ථාවේ දෑස් වලින් ද වතින ක්‍රමයේේ අර්බුදය පවුලට බලපා ඇති ආකාරයය මනාව ඉස්මතු කරයි. මේ සියල්ල වාමාංශික දේශපාලනයට අදාල කරුණුයි.

නමුත් වාමාංශික වෘත්තීය සමිති විසින් ගිහාන්ට ලබාදෙන්නට යන ොන්ත්‍රාත්තුව පිළිබඳ සාකච්ඡාවේදී මතුකරන යම් කරුණු හේතුවෙනි සප්‍රේක්ෂකයන් තුළ තිගැස්මක් ඇති කරවීය. එම වෘත්තීය සමිති සිදු කරන දේශපාලනය  පහත් මට්ටමේ එකක්යැයි බොහෝ දේ දෙනා විශ්වාස කළේය. දේශපාලනය යනු බලය ලබා ලබා ගැනීම හෝ පවත්වා ගැනීම සඳහා යි ිදු කරනු ලබන ක්‍රියාවලියකි. එම ක්‍රියාවලියේදී වර්තමානයේදී පැහැදිලිවම අනුමත කළ නොහැකි බොහෝ දෑ සිදුවේ .නමුත් එය වාමාංශික දේශපාලනයේ වරදක් නොව පවත්නා දේශපාලන භාවිතාවේ වරදකි. නමුත් කතාවේ එම කොටස දක්වා වාමංශික හැඩයක් ගත්තද එම සිදුවීම හරහා වාමාංශික දේශපාලයේ යම් පැතිකඩක් සමාජයට නිරාවරණය කිරීම කූබියෝ හරහා විශිෂ්ඨ ලෙස සිදු කෙරීය. එමෙනම "ශාක්‍යා හෝල්ඩින්" ආයතනය තුලට ප්‍රියන්තව යැවිය යුතුයි යන්න සාකච්චා කරන අවස්තාවේ ජෙහාන් සාම්ප්‍රදායික ලෙස සියලු දෙනාට අවබෝදය ලබා දී විප්ලවය සිදු කල නොහැකි බවත් ඕනෑම කෙනෙකු තමන්ගේ වාසිය ගැන සැලකිලිමත් වන බව මතක් කරදීම ද තවත් වැදගත් කරුණකි..

තමත් නිශ්චිතවම ජෙහාන් කවුරුදැයි විස්වාස කල නොහැකි වුවත් මේ තාක් එලි දැක්වූ කොටස් වලින් වාමාංශික දේශපාලනයට ඉහල තැනක් ලැබුනි. එමෙන්ම සාර්ථකව වම "කොනිත්තා" තිබුනි..

Friday, November 3, 2017

Agama darshanaya ha mithyawa

                                                          ආගම  දර්ශනය හා මිත්‍යාව

 "ඕක ඉතිං අපේ කරුමේ", "කරුමේ වළක්වන්න බෑ නේ", "ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත", "දෙවියන්වහන්සේ කියපු දේවල් ප්‍රශ්න කරන්න බෑ". අප සමාජයේ බහුතරයක් වැඩිහිටි ප්‍රජාව මේ ආකාරයෙන් සියල්ල කර්මයටත් දෙවියන් වහන්සේගේ කැමැත්තටත් භාර දී තිබූ වකවානුවක් පසු කරමින් අද වනවිට යම් කාරණා සම්බන්ධයෙන් ඒ හා බැඳුණු ආගමික වටපිටාව යම් ආකාරයෙන් හෝ විමසා බලන්නට උත්සාහ කරමු.

වසර 2500කට ඉහත දී බුදුන් වහන්සේ ඉදිරිපත් කළ බෞද්ධ දර්ශනයේත් ජේසුස් වහන්සේගේ ධර්මයේත් අල්ලා දෙවියන්ගේ ධර්මයේත් මා විශ්වාස කරන ආකාරයට මූලික හරය වන්නේ මිනිසුන් සහ සමාජය වඩා යහපත් බවට පත් කිරීමට මග පාදා දීමයි. ඒ ඒ කාලවලදී ඒ ඒ ශාස්තෘවරුන් ඒ සඳහා විවිධ උපක්‍රම යොදා ගත්හ. මා විශ්වාස කරන ආකාරයටයට බුදුන්වහන්සේ හොද නරක හැසිරවීම්ට "පින් පව්" යන වචන භාවිතා කරන ලද්දේත් අනෙක් ආගම්වල "දෙවියන් වහන්සේගේ කැමැත්ත" යන යෙදුම් භාවිතා කරන ලද්දේත් එකල අවිඥානික සමාජයට සියල්ල දාර්ශනිකව අවබෝධ කර දීම අපහසු නිසාත් කුමන හෝ ආකාරයකින් එම සමාජය යහපත් දිශාවකට යොමුකල යුතු නිසාත් ය.



නමුත් පසු කාලීනව එම විඥානවාදී හිඩැස් වලින් ප්‍රයෝජන ගත් සමහර ප්‍රබලයින් ඒවා සමාජයේ අයහපත කරා යෙදවීය. ශුද්ධවූ යුද්ධය නමින් ඝාතන සිදු කරන්නේ ඒ නිසාවෙනි. එය එක් ආගමකට පමණක් ලඝු වූවක් නොවේ. කුළ බේදයට එරෙහිව විප්ලවය සාර්ථකව ජයගත් බුදුන්ගේ දර්ශනය අනුගමනය කරන්නේ යැයි පවසන බෞද්ධයන් තුළ කෙතරම් කුළ ගෝත්‍ර වාදය ඇත්තේ ද යන්න මේ සඳහා තවත් නිදසුනකි. සැමට මෛත්‍රිය පතුරුවන්නට උගන්වන බෞද්ධ දර්ශනය අනුගමනය කරනන්නන් බුදුදහම රැකගැනීමට "කෙලක් පරයින් නැසීමට" සූදානම් ය. සැබැවින්ම අප අනුගමනය කරන්නේ එදා ඒ දාර්ශනිකයන් සඳහන් කළ දර්ශනයන් නොවන බව පැහැදිලිය.

කාල් මාක්ස් වැනි දාර්ශනිකයන් සිය දර්ශනය සඳහා ප්‍රධාන වශයෙන් භෞතිකවාදී පදනම් යොදා ගත්හ. විද්‍යාවේ ඉහලින්ම සදහන් කරන ඇල්බට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ගැන කරුණු සඳහන් කිරීම්ට වසර දහසකට පමණ පෙර බුදුන් වහන්සේ ඒ පිළිබඳ ව දේශනා කර ඇත. නමුත් එම පැරණි දර්ශනයන් සමාජගත වූ විඥානවාදී පදනම් නිසා පසු පසුකාලීනව ඒවා තුළ ගැටලු මතු වූ බවට සිටිය හැක. ලෝකය දෙවියන් මැවූවක් නොවන බවට ඔප්පුවී හමාරය. නමුත් සියල්ල භෞතික වාදයට අනුව පැහැදිලි කළ නොහැකි වුවත් එය වඩාත්  තර්කානුකූල පදනමක්කි. පවට ඇති ඇති බිය නිසා හෝ පසුකාලීනව කර්ම විපාක පලදේවී  යන අදහසින් හෝ වැරදි ක්‍රියා නොකිරීම යහපත් වුවත් යම් අසාර්තකත්වයකදී තමන්ගේ කරුමය යැයි සිතා උත්සාහය අත් හැරීම අනුවණකමකි. තම දරුවාට පාසලක් නොලැබෙන අවස්ථාවකදී එය කර්මයට භාර දී අත් හැරීම නොව දරුවරුවාගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කළ යුතුය.

 ආගම් දර්ශනයන් ඉගෙන ගමු. සියල්ලට ගරු කරමු. භෞතිකවාදය හදාරා මිත්‍යාවට මිත්‍යාවට වැට බදිමු. 

Saturday, October 28, 2017

‌Minisage Sambawaya


                                                                     මිනිසාගේ සම්භවය

දෙවියන් වහන්සේ විසින් මිනිසා මැවූ බවත් ජීවන හුස්ම පිඹ ප්‍රාණය ලබා දුන් බවත් ඉතිහාසයේ විවිද ආගම් වල පොත පතෙහි සඳහන් වෙයි. මේ අයුරින් ජීවයේ සම්භවය, මිනිසාගේ  සම්භවය පිළිබඳ ගැටලුව වසර දහස් ගණනක් තිස්සේ සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් වඩා නිවැරදි හා මැවුම් වාදයට එරෙහි මතයක් පළමුවරට ඉදිරිපත් කළේ ප්‍රංශ  ජාතික ලමාර්ක්(1744-1829) විසිනි. "සත්ව විද්‍යාවේ දර්ශනවාදය"(1809) නමින් පොතක් පළ කළ ඔහු සත්ත්ව සංහතිය සහ පැළෑටි ලෝකයේ පරිණාමය ඔප්පු කරමින් කරුණු පෙන්වීමට සමත් විය. එහෙත් එම අවධියේදී සොබාදහම තුළ ජීවීන්ගේ පරිනාමය ගැන හෝ මිනිසාගේ ස්වභාවික සම්භවය ගැන හෝ සෑහෙන සාදධක නොතිබුණි.



නමුත් ඉන්පසුව චාල්ස් ඩාවින් විසින් කෘතිම වරණය මූලධර්මය යටතේ ප්‍රකුර්තියේ සත්ව හා පැළෑටි විශේෂ පරිවර්තනය වන බවත් එය නොකැඩෙන සේ වෙනස් වීම් සහ ආවේණිය සමඟ බැඳී ඇති බවත් පෙන්වීම් නිසා පෙර පැවති විශේෂයන්ගේ ස්ථාවර භාවය පිළිබඳ මතය සුන් වී ගියේය. ඩාවින්ගේ නියාය අනුව මිනිසා ඇතිවීමේ ප්‍රධාන සාධක වූයේ විකෘතිය, පැවැත්ම සඳහා සටන, ස්වභාවික හා ලිංගික වරණය, ආවේණිය හා පරිසරයේ බලපෑම්ය. මිනිසාගේ වර්ධනයේදී ජීව විද්‍යාත්මක කරුණු පමණක් නොව සමාජ විද්‍යාත්මක කරුණු ද බලපෑ බැවින් මානව විද්‍යාවේ සම්පූර්ණ ක්‍රියාදාමය විස්තර කිරීම්ට නොහැකි විය.



පසුව මාක්ස්වාදයේ නිර්මාතෘවරුන් වන එංගල්ස් විසින් මිනිසාගේ සම්භවයට  ශ්‍රමය ඉටුකල කාර්ය පිළිබඳව "සොබාදහමේ දයලෙක්තිකය" පොතට කරුණු ඇතුළත් කර ඇත. එංගල්ස්ගේ මතය අනුව සෘජු ගමන වානරයා මිනිසා බවට පත්වීමේ තීරණාත්මක පියවර විය. "ගස් නැගීමේ දී අත් වලට හා පා වලට විවිධ කාර්යයන් පැවරේ. ඔවුන්ගේ ජීවන රටාව හේතු කොටගෙන සමතලා බිම් වල සංචාරණය කිරීමට සිදුවූවිට මෙම වානරයෝ ඇවිදීමේදී සියම අත් භාවිතය ක්‍රමයෙන් ඈත් වූ අතර වඩ වඩාත් සෘජු ඉරියව්වක් යොදා ගත්හ." (සොබාදහමේ දයලෙක්තිකය පි.277)



මොළයේ සංවර්ධනයය ගැන එංගල්ස් මෙසේ ලීවේය. ප්‍රථමයෙන් ශ්‍රමය ද ඉන් අනතුරුව සහ එයත් සමග කතාව ද යන මේ දෙකෙහි උත්තේජනය යටතේ වානරයාගේ මොළය ක්‍රමයෙන් මිනිස් මොළය දක්වා පරිවර්තනයය වූ අතර මිනිස් මොලය වානරයාගේ මොළයට වඩා විශාල වී අංගසම්පූර්ණ බවට පත්විය. මොලය වර්ධනය වීමත් සමඟම එහි ඉතාමත් සමීපතම උපකරණ වන සංවේදී ඉන්ද්‍රියන් වර්ධනය විය. කතාවේ ක්‍රමානුකූල වර්ධනයත් සමඟම ඊට අනුරූපව ශ්‍රවණ ඉන්ද්‍රියන් සියුම් වීම සිදු වූවාක් මෙන් සමස්තයක් වශයෙන් මොළයේ වර්ධනය වීමත් සමඟම සියලුම ඉන්ද්‍රියන් සියුම් වීමක් සිදුවේ.(ස්භාදහමේ දයලෙක්තිකය 282-283)

එමෙන්ම  සෘජු ගමන් විලාසයක් ඇති වානරයාගේ අත නිදහස් වීමත් සමග එය විවිද ක්‍රියා වලට යොදා ගැනීම කැපී පෙනෙන කාරණයක් ලෙස දැක්විය හැක. මිනිසාගේ අතේ මහපට ඇඟිල්ල අනෙක් ඇඟිලි වලට විරුද්ධව ස්වාධීනව ඇති නිසා යම් දෙයක් ග්‍රහණය කර ගැනීමට හා හැසිරවීමට හැකි වී තිබේ. මුල් කාලයේ දඩයම සඳහා ආයුධ හසුරුවා ගත්තේ ද අද වන විට විශිෂ්ට මූර්ති, චිත්‍ර නිර්මාණ එළි දකින්නේ ද මෙම සුවිශේෂී ලක්ෂණය නිසාවෙනි.

 මිනිසාගේ පරිණාමය සමග ශ්‍රමය භාවිතා වූ ආකාරය හා ගෝත්‍ර,  පවුල් ගොඩන නැගීම වැනි කාරණා පිළිබඳව ඉදිරියේදි කතා කරමු.




 ජ.වි.පෙ අධ්‍යාපන අංශයේ  "විමර්ශන" තොරතුරු මාසිකයේ කරුණු ඇසුරෙනි.