Saturday, April 14, 2018

වෙනසක ඇරඹුම - 10 කොටස

09 කොටස මෙතනින්.

පන්ති තහනම් වල ලියුම අතට හම්බෙන්න කලින් අපේ උන් සෙට් එකක්, කලින් සූදානම් කරපු ආරණ්‍යවාසී හාමුදුරුවන්ට දානයක් දෙන්න කුරුවිටට ගිහින් තිබුන. ලියුම අතට ගත්තු දවසට පහුවදා තමයි වැඩේ සෙට් කරල තිබුනෙ. මාත් ඒකට යන්න හිටියෙ. ඒත් අම්ම හිටපු අසනීප තත්ත්වෙ නිසා අම්ම මේක දැන ගන්න එක අවදානම් කියල මගේ හිත කිව්ව. ඒ නිසා එදා රෑම ලියුම ගෙදරට යෑම වැලැක්වීමේ ක්‍රියාන්විතය සඳහා පිටත් වුනා. ගෙදර ගියේ කොළඹට ගිහින්. සභාපති සහෝදරයගෙ ගෙදර ගිහින් උන්ගෙ අම්මගෙන් ටිකක් විතර බැනුමුත් අහල තව නුගේගොඩ කොල්ලෙක්ගෙ ගෙදරත් ගිහින් තමයි මන් ගෙදර ආවෙ. පලවෙනි ලියුම නම් ඉස්සුව. කෝකටත් නැන්දලට මන් විස්තරේ කියල තිබුන. මොකද කෝල් කරොත් බය වෙන නිසා. අම්ම හිටියෙ ක්වාර්ටස් වල නිසා එහෙට කෝල් කරන්න විදිහක් නෑ. පස්සෙ හෙමීට තාත්තටත් සීන් එක කිව්ව. මීට කලින් කිසිම වැරද්දක් නොතිබුන අහිංසක ළමයෙක් නිසා තාත්ත මගේ කතාව පිලිගත්ත.


ඊලඟ ගේම උනේ අපිත් කොහොම හරි පඹහින්නෙ නවතින එක. මොකද ශිෂ්‍ය සංගමේ අයත් ඒ වෙද්දි පඹහින්නෙ බෝඩ් වෙලා ඉඳගෙන තමයි සම්පූර්ණ සංවිදාන කටයුතු කරේ. ඒ වෙනකන් ඒකේ රඟේ හරියටම තේරුනේ නැති නිසාත් පොඩි උන්ගෙ බැජ් එකේ වගකීම් ගැන වගේම බැජ් එක ගැන උණක් තිබුනු නිසාත් අපිට ඕන උනේ පංති තහනම් අපිට අදාල නෑ කියල බැජ් එකට නායකත්වය දෙන්න.

සතියක් යනකොට බෝඩිමක් සෙට් කරගන්න අයියලට පුලුවන් උනා. අපි හා හා පුරා කියල සස්පෙන්ඩ් ජීවිතය බෝඩිමක ඉඳන් ගෙවෙනකොට මොන වගේද බලන්න බෝඩිමට ආව. ශිෂ්‍ය සංගමේ සභාපති සහෝදරය හම්බෙන්න එයාලගෙ බෝඩිමට ගියාට පස්සෙ තමයි ඒකෙ රහ තේරෙන්න ගත්තෙ. සෝයාමීටුයි බතුයි උයාගෙන කන්නෙ. ටිකක් වෙලා කතා කර කර ඉන්නකොට ඒ ජීවිතය අවුරුද්දකට වැඩි කාලයක් විඳපු ඒ සහෝදරවරු කොහොම හිටියද කියල ගලපන්න උත්සහ කරාට "කැපකිරීම" "ආදරය" කියන වචන ඇරෙන්න වෙන උත්තර ආවෙම නෑ. ඔහොම ටික දවසක් බෝඩිමේ ජීවිතය ගෙවෙමින් තිබුන. මුල් ටිකේ ඉතින් රජ මගුල් වගේ තමයි. කන්න බොන්නද බලන්න උන්ද ඕන තරම්. මොනව උනත් කියන්න ඕන දෙයක් තියෙනව බැජ් එකේ උන් ටික පන්ති තහනම් කාලෙ පුරාවටම ඒක දුකක් නොවෙන්න දුකක් විදිහට නොදැනෙන්න මාර ගේමක් ගැහුව. ඒක හරියටම දැනෙන්නෙ දැන් ඒකාලෙ ගැන මතක් කරනකොට. අපිට ඉතිං ඒ කාලෙ වැදගත් උනේ අපිව බලන්න එන එක නෙමෙයි පොඩි උන්ගෙ බැජ් එකේ අප්ඩේට් එක. දවසක් කැම්පස් එකේ උද්ඝෝෂනයක් තිබුන. ඇතුලෙ ඉන්න නායකයො කැම්පස් එක ඇතුලෙන් ආරම්භ කරල උද්ඝෝශනය ප්‍රධාන පිවිසුම ලඟට අරන් එනව. එතනින් පන්ති තහනම් වෙලා ඉන්න සභාපති සහෝදරයා ඇතුලු නායකයන්ගෙ මූලිකත්වයෙන් උද්ඝෝෂනය ඉදිරියට යනව. එහෙම තමයි සාමාන්‍යයෙන් ඒ කාලෙ උනේ. මොකද මුල් පෙල දෙවනි පෙල විතරක් නෙමෙයි තුන්වන පෙල හිටපු සටන් නායකයොත් ඇතුලු 70කට වැඩි පිරිසක් පංති තහනම් වෙලා තිබුනෙ. එදා උද්ඝෝෂනයට පිවිසුමෙන් එලියෙ ඉඳන් සම්බන්ද වෙන්න හිතාගෙන අපිත් ගියා. එතනදි වෙච්ච පොඩි සිද්දියක් කියන්න ඕනෙ. ආපු පොලිස් නිලධාරියෙක් අපේ ෆෝටෝ ගැහුව. මට හොඳට මතකයි මන් ඒ වෙලාවෙ මූණ හංග ගත්ත. මොකද ඒ වෙද්දි අදහස තිබුනෙ කොහොම හරි ශේප් එකේ ඇතුලට යන්න. ඒක වෙනස් උනේ සති දෙක ඉවර වෙද්දි තිබුනු පීඨාධිපතිතුමාගෙ සාකච්චාවෙදි. ඊට කලින් කියන්න දෙයක් තියෙනව.

ඒ වෙද්දි මන් දෙයක් තේරුම් අරන් තිබුනෙ. අභ්‍යන්තර ශිෂ්‍ය බලය සෑහෙන්න අඩු මට්ටමක තමයි තිබුනෙ. ජේෂ්ඨයො උනත් කීප දෙනෙක් ඇරෙන්න පරිපාලනයට , මාෂෙල්ට කෙලින් මූනදීම අඩුවෙලා තිබුනෙ. ඔහොම තියෙද්දි හිටපු කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති අයිය පංති තහනම් කාලයේදි වි.විද්‍යාල සීමාවෙන් පිටතදී සහකාර ලේකකාධීකාරී හම්බෙලා තිබුනා. එයා ඔය විස්ත‍රේ සභාපති අයිය ඉන්න බෝඩිමේදී කිව්ව. මතක විදිහට දෙබස දාන්නම්. "පාකන් අයියෙ මගදි ඒ.ආර් හම්බුනා. මිනිහ හෙන සීන් එකක් දැම්මනෙ." "ඇයි මිනිහ මොකද කියන්නෙ?" පාකන් අයිය ඇහුව. ඔය වෙලාවෙ කොහොම හරි අපේ උන් සෙට් එකකුත් බෝඩිමට ඇවිත් හිටිය. හැමෝගෙම අවදානය අර කතාවට යොමු වෙලා තිබුනෙ. "මිනිහ කිව්වනෙ අවුරුදු හතරෙම හොස්ටල් දෙන එක නවත්තනව කියල. ෆස්ට් ඉයර් එකයි ෆයිනල් ඉයර් එකයි විතරයි දෙන්නෙ කියල කිව්ව" . "ඉතිං උඹ මොකද කිව්වෙ?" . " මන් කිව්ව පුලුවන්නම්  කරල බලමුකො සර් කියල". එතනින් පස්සෙ සාමාන්‍ය ස්වරූපයෙන් හිටපු පාකන් අයිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කියන බරපතල වගකීම් සහිත චරිතයට මාරු උනා වගේ දැනුන. කටහඩේ විතරක් නෙමෙයි මූනෙත් බර ගතිය වැඩි උනා. " උන් හිතන් ඉන්නෙ අපි ටිකක් නිකන් හිටියම කඩේ වහල කියල. උන් දන්නෙ නෑ ශිෂ්‍ය බලය කියන්නෙ මොකක්ද කියල. ලඟදිම කියාදෙන්නම්කො උන්ට උණ ගැනෙන්න." අහන් ඉන්න කෙනෙකුට නම් මයිල් කෙලින් වෙන වචන් ටික. වෙඩි තිබ්බ වගේ. කොහොම උනත් ඒ වෙලාවෙ මොරාල් හැදුනට මන් කල්පනා කරේ ඇතුලෙ සටනක් හදන්න තරම් බලයක් තියා ඔලුවක් උස්සන ගතියක් වත් නැතිකොට මොන සටන්ද කියල. ඒත් විනාඩි කීපයකින් ඒ අදහස වෙනස් උනා. ඒ අපේ උන් ටිකත් එක්ක ආයෙ බෝඩිමෙන් එලියට එද්දි. හැම එකාම කතා වෙන්නෙ පාකන් අයිය කියපු දේ ගැන. ඒ මොරාල් එක ගැන. ඒ කතාවලින් තේරුන දේ තමයි ඒ වෙලාවෙ නැති ශිෂ්‍ය බලයක් ගැන උන් විස්වාස කරා විතරක් නෙමෙයි ඒ සටනට අනිවාර්‍ය දායකත්වය දෙන්නත් උන් පාකන් අයියගෙ වචන නිසා තම තමන්ටම පොරොන්දු වෙමින් තිබුන. සටන නිර්මාණය උනේ ඒ වචන වලින් ඒ කැපකිරීම් වලින් කියල අද ආපස්සට හැරිල බලද්දි හොඳටම පැහැදිලි වෙනව.

ඔය අතරෙ මැනේජ්මන්ට් අපේ පැරා බැජ් එකේ ක්‍රියාකාරී කමිටුවෙ නායකයො දෙන්නෙක්වත් පන්ති තහනම් කරල තිබුන. ඒත් එක්කම අපේ තාවකාලික සති දෙකක පන්ති තහනම නිමා වෙන්න ලංවෙලා තිබුන. ආසාවෙන් හිටපු පොඩි උන්ගෙ වෙල්කම් එකත් අපි නැතුවම ඒත් සාර්තකව අවසන් වෙලා තිබුන.

සරසවි ජීවිතය විතරක් නෙමෙයි එතනින් පස්සෙ අද වෙන තෙක්, බොහෝ විට ඉදිරියටත් ජීවිතය යන මාවත තීරණය උනු තීරණාත්මක පීඨාධිපති සකච්චාවට දින නියම උනා කියල පීඨයේ සභාපති සහෝදරය අපිට දැනුම් දුන්න. ඒක මේ තරම් ජීවිතයට බලපෑම් කරාවි කියල ඒ වෙද්දි නම් පොඩ්ඩක්වත් හිතුනෙ නෑ.

ඒ විස්තර ඉදිරියට.. මතු සම්බන්දයි.


















No comments:

Post a Comment