Wednesday, January 10, 2018

සටන පැරදී නොමැත.



වසර ගණනක් අකණ්ඩව පැවති සයිටම් විරෝධී අරගලය එක් මොහොතක සයිටම් ආයතනය අහෝසි කිරීමට ආණ්ඩුව එකග වීමත් සමගම ජයග්‍රාහීව අවසන් කලත් එය වෙනත් ආකාරයකට නැවත වරක් අද්‍යාපනය පෞදලීකරණයට මගපාදමින් මතු වෙමින් පවතී. මේ තත්වය යටතේ සමාජය තුල කුකුසක් මතුවෙමින් තිබේ. එනම් "සටන පැරදුනාද" යන්නය. ඒ හේතුවෙන් මේ කරුණු කීපය ලියා තබන්නට සිතුවෙමි.


සයිටම් සටන සයිටම් සදහා පමණක්ද යන්න විමසා බැලීම වැදගත් වේ. ලිබරල් ආර්තික ක්‍රමවේදය සිය ප්‍රතිපත්තිය කරගත් පාලකයන් හුදෙක් සයිටම් නම් ආයතනයක් වසා දැමීමට විරුද්ධව මෙතරම් ප්‍රතිරෝධයක් යොදාවිද? කිසිසේත්ම නැත. සයිටම් යනු එක් ආයතනයක් පමණක් වුවද සයිටම් විරෝධී සටන පැවතුනේ එක් ආයතනයකට විරුධව නොවේ. අද්‍යාපන පෞද්ගලීකරණයට විරුද්ධවය. එනම් ආණ්ඩුවේ ලිබරල් ආර්තික ප්‍රතිපත්තියට විරුද්ධවය. එවැනි සටනක් කෙටි කාලීනව ජය ගත හැකි යැයි සිතීම විහිලුවකි.

 සයිටම් ස්ලිට් හා එක් කර නැවත කරලියට ගෙන ඒමට පාලකයන් පිඹුරුපත් සකසද්දී සටන් බලවේග එයට පෙරටත් වඩා සූදානම් විය යුතුව තිබෙද්දී පිටියෙන් ඇසෙන්නේ විස්වාසය කඩවුනු හඩවල්ය. ඉතිහාසය පුරාම එය එසේය. යම් පසුබැසීම් නිවැරදිව වටහාගත නොහැකිව ඒවා පරාජයන් ලෙස ගෙන පවතින තත්ත්වය නිවැරදිව විග්‍රහ කරන්නට නොහැකිව කණ්ඩායම අතහැර ගොස් කණ්ඩායම විවේචනය කරන අය අප අනන්තවත් දැක ඇත. සටන පුරා අඩුපාඩු තිබුනු බවත් විවිධ දේශපාලන කණ්ඩායම් සටන සිය දේශපාලන උවමනාවන් වෙනුවෙන් සටන පාවිච්චි කල බවත් නොරහසකි.
නමුත් මෙම සටන තුලින් ජයග්‍රහණ විශාල ප්‍රමානයක්ද ලබා ගැනුනි.

අද්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව සමාජ මතයක් ඇතිකිරීමට මෙම සටන මහත් පිටුවහලක් විය. එමෙන්ම කම්කරු පන්තිය පොදු සටකට එක් කර ගාමක බලවේගය වන කම්කරු බලවේගය සටන්කාමී මාවතකට රැගෙන ඒමට සටන මහත් පිටුවහලක් විය. එමෙන්ම සාම්ප්‍රදායි "බැරියර් පෙරලන සටන් ක්‍රම වෙනුවට නව සටන් ක්‍රම කරලියට පැමිනීමද සිදු විය.(මොරටුව වි.වි මහා ශිෂ්‍ය සංගමයේ වීදී නාට්‍ය විරෝධතා සහ ක්‍රිකට් තරගයේදී සිදුකල විරෝධතාව මෙන්ම සබරගමු වි.වි සයිටම් විරෝධී දන්සල උදාහරණ ලෙස දැක්විය හැක).



එමෙන්ම එදා පැවති විරෝධය හමුවේ රජයට පැලැස්තර විසදුමක් හෝ ලබා දෙන්නට සිදුවීමම සටනේ ජයග්‍රහනයකි. අද වන විට සබරගමු වෛද්‍ය පීඨයට 75 දෙනෙකුගෙන් යුත් පලමු කණ්ඩායම බදවාගන්නා බව කියවේ. සබරගමු වෛද්‍ය පීඨය යනු අප සියලු දෙනා තුල තිබූ සිහිනයකි. හැකි උපරිම අයුරින් ඒ වෙනුවෙන් කැප වුනෙමු. මෙහිදී මතකයට නැගෙන්නේ "හෝ ගානා පොකුණ" චිත්‍ර පටයේ බසය ලබා ගැනීම වෙනුවෙන් රොකට්ටුවක් ඉල්ලා කරන ඉල්ලීම සහිත ගීතයයි. අපටද රොකට්ටුව නොලැබුනද බසය ලබාගත හැකිවිය. චිත්‍ර පටයට වඩා සැබෑ සටන වෙනස් වන්නේ චිත්‍රපටයේ සැබෑ අරමුණ බසය උවත් අපගේ සැබෑ අරමුණ රොකට්ටුව වීමයි. සටන් වල ස්භාවය එයයි. ප්‍රතිසංස්කරණ හරහා ඉදිරියට යා යුතුය. වැදගත්ම දේ ඉදිරියට යාමය. එසේ නම් අදෛර්‍ය්මත් නොවී විස්වාසයෙන් යුතුව පටු දේශපාලන අරමුණු වලට කොටු නොවී සටන තුල රැදී සිරිමු. ජය!





No comments:

Post a Comment