Tuesday, January 23, 2018

වෙනසක ඇරඹුම - 05 කොටස


මගහැරුනු අයට කලින් කොටස මෙතනින්.

කොහොම කොහොම හරි අපේ පළවෙනි වැඩේ උන "රාත්‍රිය වී" ප්‍රසංගය බොහොම සාරථක විදිහට පැවැත්වුනේ ඇත්තටම පුදුම සතුටක් හිත් වලට එකතු කරමින්. අපේ වැඩේ කිව්වට අපි කරේ අයියල කියපු ඩෙකරේශන් ටික විතරයි. ඊට අමතරව අපේ එකෙක් ගිටර් එක ප්ලේ කරා. ඒ ටික ඉතිං අපිට මහමෙරක් වගේ.

වැඩි දවසක් යන්න උනේ නෑ. ආයෙත් බැජ් මීටින් එකක් අරන් අපිට ක්‍රිකට් මැච් එක සංවිදානය කරන්න දුන්න. "රාත්‍රිය වී " වගේ නෙමෙයි මේකෙ සම්පූර්ණ වැඩේම බාරදුන්නෙ අපිට. මතක විදිහට අයියල සල්ලි දුන්න. කට්ටිය ඉතිං දත හපාගෙන වැඩ. ඔය කාලෙ වෙද්දි එක එක විදිහෙ චරිත බැජ් එකේ ඉස්මතු වෙන්න ගත්ත. අයිස් ගහන උන්, ටෝක් දෙන උන් වගේ එක එක ජාතියෙ උන් එක්ක කොහොම හරි බැජ් ගොඩදාපු එක නම් උනා. මැච් එකට ටෙන්ට් එක ගහන්න සෙට් උන වෙලාවෙත් අමතක නොවන සිද්දියක් උනා. අයිය කෙනෙක්, අයිස් ගහනව කියල තේරිලද කොහෙද අපේ එකෙක්ට අලවංගුව දුන්න. අලවංගු පාරවල් දෙකයි දුන්නෙ උගේ අතේ කරගැට ආව. ජීවිතේට අලවංගුව අල්ලල නෑ. ඒ වගේ දේවල් මතක විදිහට ඉතුරු කරල ක්‍රිකට් මැච් එකත් (එරේෂ් තනුක ඇනුස්මණ කුසලානය) සාර්ථකව නිමා උනා. 

ඔය කාලෙ ඉතිං වගකීම් අඩු පිස්සු කෙලින කාලෙනෙ. වෙලාවක් අහුවෙච්ච ගමන් කොහේ හරි යනව. අඩුගානෙ හොස්ටල් එක පහල තියෙන හිරිකටු ඔයට හරි. ඔය ගමන් එක්කම බැදිල තිබුනු දෙයක් තමයි ෆොටෝ ගැහිල්ල. අපේ එකෙක් ගාව ඒ දවස් වල තිබුන සැම්සුන් එස්3 ෆෝන් එකක්. ඉතිං ඌ තමයි ඩයල් එකක්. ඒත් ඉතිං වැඩිපුරම බයිට් වෙන්නෙත් ඌම තමයි. කොල්ලො ඌට කියල ෆොටෝ ගහගෙන උගේ ෆොටෝ නොගහ මාරු වෙනව. ඉතිං අරූ කෑගහනව "අවුරුදු 4ටම උඹලගෙ ෆොටෝ ගහන්නෙ නෑ" කියල. ඌව බයිට් කිරිල්ලත් ට්‍රේනින් හොයන කාලෙදිවත් නතර උනේ නෑ. ඒ විස්තර ඉස්සරහට කියන්නම්. සූටි අහිංසක ගෑණු ළමයෙකුත් හිටියනෙ ඔය සෙට් එකේ. අවු 21 වුනාට අපේ උන් ඒ දවස් වල කිව්වෙ ආයෙ පහේ පන්තියෙ ඉදන් යවන්න ඕනෙ කියල. පොඩ්ඩ බැරිවෙන්න බෑ මූණ දෙක වෙනව ඇස් වලට කදුලු එනව. ඒ උනාට කෙල්ල ටිකක් ලස්සනයි. ඔන්න ඉතිං අපේ එකෙක්ට හිත ගිහින්. ඌ අපිටත් ඇවිත් කිව්ව. අපි ඉතිං ෆුල් සපෝට්. එක්සෑම් කාලෙ කියල නෑ. කොල්ලො කවි ලියල දෙනව. දැන් හෙන චැට් එක. වැඩේ නැගලම ගියාට තාම කොක්ක ගහල නෑ. ඒ කතාවේ හොද කෑලි තව ඉස්සරහට.අයියලගෙ කුප්පි ටිකෙන් අපි පලවෙනි එක්සෑම් එකනම් ගොඩදාගත්ත.

ඔය කාලෙදි ඉතිං අර මන් කලින් කියපු ඇග්‍රි එකේ සහෝදරිය එක්කත් ටික ටික චැට් එක ගියා. දවසක් මන් යැව්ව 
           "මිතුරිය සේ උන්නත් ඔබ මගෙ හදවත ලග
             සොදුරිය කරගන්නයි මා පැතුවේ හැම දින" කියල. ටිකක් වෙලා ගිහින් රිප්ලයි ආව. 
            "සුපෙම් හැගුමන් එපා ඔබෙන් මිතුරු දම් විනා". පුදනකොටම කාපි යකා කිව්වලු. ඇරඹුමම කදුලක් වෙලා ඒ කතාව නතර වුනා. තාමත් හොද යාලුවෙක්. පස්සෙ තමයි එයා විස්තර කිව්වෙ. හුගක් දිග අහින්සක කතාවක්. ඒවා වැඩක් නෑනෙ. කොහොම හරි ටික දවසකින් හිත හදාගත්ත.

ඔහොම යද්දි අපිටම තේරුණා අපි බලාපොරොත්තු උනු සුන්දර සරසවිය වෙනුවට මේ තියෙන්නෙ මලගෙයක් වගේ මලානික පරිසරයක් බව. ඒ පරිසරය වෙනස් විය යුතුයි කියන අදහස ටිකෙන් ටික අපේ හිත් වලට ඇතුල් වුනා. ඔය කාලෙදිම තමයි "යදම් මතින් නැවුම් බිමට" ෆැකල්ටි ඩේ එක කරන්න ජේෂ්ඨයො අපිට බා‍රදුන්නෙ.ඒ ඉතිහාසය කියවද්දි ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය කරපන් කියන බලකිරීම හිතට වද දෙන්න ගත්ත. පීඨාධිපතිතුමා සැමරුමට ඇවිත් කිව්වෙ ඉතිහාසයේ ඒ වගේ වීර‍යො හිටිය, හැබැයි දැන් නැහැ කියල. ඒ වගේම පීඨයේ දෙවනි අදියරක් කියල එකක් නෑ කියලත් කිව්ව. වැඩි වෙල යන්න කලින් උත්තර හම්බුනා. නිවේදනය කරපු අයියම ප්‍රතිඋත්තර දුන්න. මාරාන්තික උපවාසෙ වෙලාවෙ ඇස් ඇතුලට ගිලිල රෝහල් ගත කරපු සහෝදරයට කිරි පැකට් එකකුයි චොකලට් එකකුයි ගෙනිච්චම එයා ගෙනාපු කෙනාට බැනල අහල තියෙන්නෙ අනිත් උන්ට දෙන්නැතුව උඹ මට මොකටද ඕව ගෙනාවෙ කියල. සටන් කල යුතුයි කියන පුංචි අදහසක් එදා හිත ඇතුලට කිදා බැහැල තිබුනා. 

කතාවෙ ඉතුරු හරිය පටන් ගන්නෙ අපිට දක්ෂතා වෙදිකාවෙ පෙන්නන්න ටැලන්ට් ෂෝ එකක් කරන්න කියල බාරදුන්නට පස්සෙ. ඒ ටික මතුසම්බන්දයි..














No comments:

Post a Comment